ජනපතිට, අගමැතිට සහ රටවැසියන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටවැසි ජනතාවට සෙත් පතා පන්සීය නමක් මහාසංඝරත්නයේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුදබිමේ සලපතල මලුවේදී පැවැත්වුණා.
රටවැසි සහ ලෝවැසි ජනතාව මුහුණපා සිටින කොරෝනා වසංගතයෙන් අත්මිදීම සදහා ආශිවාර්ද පුදකිරීමේ අරමුණෙන් මෙන්ම ජනාධිපතිතුමා ධුරයට පත්ව වසරක් සපිරීම සහ අගමැතිතුමාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් මෙම පිංකම සංවිධාන කර තිබුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ උපදෙස් මත සංවිධාන කෙරුණු මෙම පිංකමට දිවයිනේ නන්දෙසින් භික්ෂූන්වහන්සේ වැඩම කර සිටියා. මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥාණතිලක ස්වාමීන්වහන්සේ මෙන්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන්වහන්සේද මෙම පිංකමට වැඩම කළා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිමාවට මල් මාලා පළදවා පුෂ්පෝපාහාර දැක්වුවා.මිරිසවැටි චෛත්‍ය රාජයානන් ගර්භයේ තැන්පත් කර ඇති ජය කොන්තයට පහන් දැල්වීම ද අගමැතිතුමා සහ ජනාධිපතිතුමා සිදු කළා. දැහැත් වට්ටිය පිළිගන්වා මහාසංඝරත්නයට සෙත් පිරිත් සජ්ඣායනාව සදහා ආරාධනා කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. සෙත් පිරිත් සජ්ඣායනාවෙන් පසු මහාසංඝරත්නය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට තිළිණ පිළිගැන්වුවා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මහාසංඝරත්නයට පිරිකර පූජා කළ අතර ජාතික ආගමික සහ සමාජීය අභිවෘද්දිය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර උදෙසා මහාසංඝරත්නය වෙනුවෙන් උපහාර තිළිණ පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. මැතිඅමැතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ජනපතිට, අගමැතිට සහ රටවැසියන්ට සෙත් පතා සෙත් පිරිත් සජ්ඣායනාවක් appeared first on ITN News.