ෂාෆිට ඇප ලැබුණු දා හිටපු ඇමති රිෂාඩ් දැන් සතුටුදැයි මගෙන් ඇසුවා – SSP මහින්ද හෙළි කරයි
වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ට ඇප ලැබුණු දිනයේ රිෂාඩ් බදියුදීන් තමන් අමතා දැන් සතුටු ද යනුවෙන් විමසූ බව අදාළ විමර්ශන භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.
සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තවාදින් කණ්ඩායම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර නුවරඑළිය ශාන්තිපුර පුහුණු කදවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් එවකට නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි මහින්ද දිසානායක මහතාගෙන් ජනාධිපති කොමිසම අද සාක්ෂි විමසුවා.
එහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශානි පිරිස් මහත්මිය කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂියාබ්දින්ව ඔබ දැන සිටියේදැයි විමසීමක් කළා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක – මම ඔහු පිළිබදව දන්නවා. මම කුරුණෑගල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 09 දක්වා රාජකාරි කළා. සාෆි ෂියාබ්දින් පිළිබදව මම දැනගත්තේ 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ.
නීතිඥ රවිශානි පිරිස් – එම වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදින් සමග සම්බන්ධතාවයක් තිබු බව ඔබ දැන සිටියාද?
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක – අපි කරපු විමර්ශන සම්බන්ධයෙන් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. එහිදීත් ඒ බව සදහන් වුණා කියලා මම මාධ්‍යයේ දැක්කා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මම සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයෙව්වා. එහිදි අනාවරණය වුණා රිෂාඩ් බදියුදින් සාෆි ෂිහාබ්දීන් සමග සම්බන්ධතාවයක් තිබුණා කියලා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රීත ප්‍රදේශයේත් නොසන්සුන් වතාවරණයන් ඇතිවුණා. මේ කාලයේ සාෆි වෛද්‍යවරයාට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පිළිබද තොරතුරු ලැබුණා. එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඉන්දීය ජාතිකයන් සහ අරාබි සම්බවයක් ඇති පකිස්තානය ජාතිකයන් උදව් කරන බව එහිදි තොරතුරු වාර්තා වුණා. සාෆිගේ ගිණුම් තුළ කෝටි 44 ක් ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වී තිබුණා. සාෆි වෛද්‍යවරයා කිව්වා ඒ ගැන අහන්න එපා කියලා. ඒ නිසා අපිට සැකයක් ඇතිවුණා. මේ මුදල් කොහෙන්ද ආවේ. කාගේ පරිහරණයටද ගත්තේ කියලා. පසුව තමයි සිසේරියන් සැත්කම් තුළින් දරු උපත් වැළැක්වූ බවට ඔහුට චෝදනා එල්ල වුනේ. ඒ වෙද්දි මොහු සිසේරියන් සැත්කම් 8000 ක් පමණ කර තිබුණා. ඒ අනුව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ සාෆි වෛද්‍යවරයා ගැන 2019 මැයි 22 අධිකරණයට කරුණු දැක්වුවා. ඉන් අනතුරුව සැක පිට අත්අඩංගුවට ගැනුනා. කොහොමහරි මේ විමර්ශනය සිදුවෙද්දි මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටයි මාරුවීම් ලැබුණා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ විභාගයේ එක විශයකට පෙනී සිටලා හිටියේ. මම මහත් අපහසුතාවයකට පත්වුණා. සාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඒ දවසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මට දුරකතනයෙන් කතා කරලා ඇහුවා.දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද ” කියලා.
The post ෂාෆිට ඇප ලැබුණු දා හිටපු ඇමති රිෂාඩ් දැන් සතුටුදැයි මගෙන් ඇසුවා – SSP මහින්ද හෙළි කරයි appeared first on ITN News.