රෝස ක්‍රිකට් පන්දුව කුමක්ද ?
රෝස ක්‍රිකට් පන්දුව ශ්‍රී ලංකාවට අළුත් හඳුන්වාදීමකි. ලොව අනෙකුත් රටවල් අතර මෙය කතා බහට ළක් වූවක් වුවද ශ්‍රී ලංකාව රෝස වර්ණයෙන් යුත් පන්දුවකින් මුලින්ම තරග වැඳුනේ නොබෝදා (ඔක්තෝබර් 4 වැනිදා) මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ආරම්භ වූ ශ්‍රී ලංකා ” ඒ ” බටහිර ඉන්දීය කොදෙව් ”ඒ” නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදීය.
ආසියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් ඉන්දියාව පාකිස්ථානය හා බංග්ලාදේශය තම රටවල පළමු ශ්‍රේණියේ අන්තර් සමාජ තරගාවලියන්හිදී රෝස පන්දුවට මුහුණ දී ඇතත් ඔවුනටද මෙහි දීර්ඝ ඉතිහාසයක් නොමැත. අත්දැකීම්ද නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ටෙස්ට් තරගවලදී මුහුණ දෙන රතු පැහැති පන්දුවට වඩා රෝස පැහැති පන්දුවේ එතරම් වෙනසක් නැතැයි පවසන ශ්‍රි ලංකා ” ඒ” ක්‍රීකට් නායක දිමුත් කරැණාරත්න මේ පන්දුවෙන් පුහුණුව ලබන විට අපට පෙනී ගියේ පන්දුවෙන් දිගු වේලාවක් ක්‍රීඩා කරන විට මදක් අව පැහැයක් (කිළුටු ගතියක්) ගන්නා බවය. කොදෙව් ” ඒ ” නායක ෂාමාර් බෲක්ස් කීවේ කොදෙව් දූපත් වලදී අප රෝස පන්දුවෙන් ක්‍රිකට් තරග වලට මුහුණ දී ඇති හෙයින් මෙය නව අත්දැකීමක් නොවන අතරම වෙනසකට ඇත්තේ වර්ණයෙන් මදක් අඩු වුවත් වැඩි දීප්තිමත් පන්දුවකින් ක්‍රීඩා කිරීමට නියමිත බවය.
රෝස පැහැති පන්දුවෙන් දිවා – රාත්‍රී පස්දින ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ දැඩි අවධානයක් මේ දිනවල පවතින හෙයින් ඊට මුහුණදීමට ශ්‍රී ලංකාවද දැන් සිටම සූදානම් වීම වැදගත්ය.
රෝස ක්‍රිකට් පන්දුව යැයි සඳහන් කරනවිට එය පිළිබඳව පිරිසකට හොඳ අවබෝධයක් ඇතත් තවත් කොටකට මෙය ආධුනිකය. ශ්‍රී ලංකාවේ මුදලින් මෙහි වටිනාකම රතු පැහැති පන්දුවේ වටිනාකම මෙන්ම රුපියල් 16,000 කි. (දහසය දහසයකි)
මේ පන්දු නිපදවන කුකබුරා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක බ්‍රෙට් එලියට් පවසන්නේ රතු පන්දුව හා සුදු පන්දුව මධ්‍යස්ථව (පැහැයෙන්) මෙය නිපදවන බවයි.
එම පන්දුවලට යොදා ගන්නා හම (ලෙදර්) වර්ණවත් ඩයි යොදා පදම් කර පන්දුවේ පිටත නිම කර ගන්නා අතර ඇතුළත කෝර්ක් බෝලයක්ද වේ. රතු සහ සුදු පැහැති පන්දුවල දක්නට නොලැබෙන අමතර වර්ණයක් රෝස පන්දුව මතුපිටට එක් කරයි. අවසානයේ රතු සහ රෝස පන්දුවලට දීප්තිය ලබා දීමට ලැකර් තීන්ත වර්ගයක්ද මතුපිටට එක් කරන බව බ්‍රෙට් එලියට් ප්‍රකාශ කරයි. මෙලෙස නිමවන පන්දුවෙන් ඕවර කිහිපයක් ක්‍රීඩා කරන විට නැතිවන පැහැය ලේන්සුවකින් හෝ කලිසමේ පිරිමැදීමෙන් පන්දුවේ දීප්තිය වැඩි කරගත හැකි බව එලියට් කියයි (අන්තර් ජාලය ඇසුරෙනි.)
රෝස පන්දුව යොදා ගැනීමට ජගත් ක්‍රිකට් සමුළුවේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ දිවා – රාත්‍රී පස්දින ටෙස්ට් ක්‍රිකට් තරග සඳහාය. දිවා කාලයේ සේවය කිරීමෙන් පසුව වැඩි පිරිසක් රාත්‍රියේ ටෙස්ට් තරග නැරඹීමට පැමිණෙතැයි ජගත් ක්‍රිකට් සමුළුවේ අපේක්ෂාවයි.
රෝස පන්දුවෙන් ප්‍රථම වතාවට දිවා – රාත්‍රී පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වුනේ 2015 නොවැම්බර් මස ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරය. මේ තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුළු 3 ක ජයක් ලැබීය. තරගයට පෙර ඕස්ට්‍රෙිලියා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන් හා ක්‍රීඩා ලෝලීන් මේ පන්දුව විවේචනය කළත් තරගයෙන් පසුව එම විරෝධතාවල අඩුවක් දක්නට ලැබුණි. ස්ටාක් ඇතුළු වේගපන්දු යවන්නන්ගේ අදහස වූයේ මේ පන්දුව මදක් භයානක බවකි.
ශ්‍රි ලංකාව රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීම නොබෝදා (ඔක්තෝබර් 4 වෙනිදා ) ආරම්භ කළත් ලොව බොහෝ රටවල් මීට පෙර සම්බන්ධව ඇත. (පාකිස්ථානය තම පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියක් වන ක්වයිඩ් අසාම් කුසලාන අවසාන තරගයේදී 2011-12 වසරේත් දකුණු අප්‍රිකාව 2012 සැප්තැම්බරයේ එක්දින තරගයකින් ද ඉන්දියාව ඔවුන්ගේ සුපර් ලීග් අවසාන තරගය ජුනි 18-21 දක්වා කල්කටාව ඊඩන් ගාඩ්න් ක්‍රීඩාංගණයේත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් 2009 ඇන්ටිගුවාහිදී ගායනා සහ ට්‍රිනිඩෑඩ් අතර දිවා -රාත්‍රී තරගයක් ලෙසත් ඕස්ට්‍රේලියාව 2014 මාර්තු මාසයේදීත් ප්‍රථම වරට රෝස පන්දුවෙන් තරගවැදිනි.
එංගලන්තය මුලින්ම රෝස පන්දුවෙන් ක්‍රීඩා කළේ 2010 දී ප්‍රථම වරට තමරටින් පිටතදී ප්‍රාන්ත (කවුන්ටි) ක්‍රිකට් අවසාන තරගය අබුඩාබිහිදී පැවැත්වූයේ දරම් ප්‍රාන්තය හා එම්.සී.සී. කණ්ඩායම අතර දිවා-රාත්‍රී තරගයක් ලෙසිනි. මේ තරගය එංගලන්තයෙන් පිටත පැවති ප්‍රථම එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයවේ. බංග්ලාදේශය 2012 පෙබරවාරි මස මීර්පූර් හි බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී මඨ්‍යම පළාත හා උතුරු පලාත අතර අවසාන තරගයට මේ පන්දුව භාවිත කර තිබේ. කාන්තා ක්‍රිකට් අතරද රෝස පන්දුව මුලින් භාවිතා කළේ එංගලන්තයේ වම්ස්ලිහිදී එංගලන්ත ඕස්ට්‍රේලියා කාන්තා තරගයේදීය.
දකුණු අප්‍රිකාව හා බංගලාදේශය රෝස පන්දුවෙන් ක්‍රීඩා කර ඇත්තේ වරක් පමණකි. ඉන්පසු ඔවුන් අත්හදා බැලීම් කිරීමට ගොස් නොමැත.
ප්‍රමාද වුවද ශ්‍රි ලංකාවද දැන් රෝස පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබේ. අපටද නුදුරු අනාගතයේදීම මේ පන්දුවෙන් දිවා-රාත්‍රී පස්දින ටෙස්ට් තරග වලට සහභාගීවීමට සිදුවනු ඇත.
– බන්දුල –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-