සතියේ ක්‍රිකට් පුවත් – 7/12/2016
· ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරඟාවලියේ දී එන්. සී. සී. කෝල්ට්ස් චිලව් මේරියන්ස් හා සී. සී. සී. කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය. එන්. සී. සී. ක්‍රීඩාංගනයේ පැවැති එන්. සී. සී. බ්ලූම් ෆීල්ඩ් තරඟයේ දී එන්.සී. සී. කඩුලු 9ක පහසු ජයක් සඳුදා (05) අත්කර ගත්තේය.
එන්. සී. සී. මුල් ඉනිම කඩුලු 9ට 443යි බ්ලූම් ෆීල්ඩ් මුල් ඉනිම 200යි බ්ලූම් ෆීල්ඩ් දෙවන ඉනිම 346යි. එන්. සී. සී. දෙවන ඉනිම කඩුලු 1ට 104යි. එන් සී. සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල මුල් ඉනිමේ දී හතරේ පහර 23ක් හා හයේ පහරක් සමග ලකුණු 183ක් රැස් කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ අසේල ගුණරත්න ලකුණු 158ක් ද, සිංහල ක්‍රීඩා සමාජයේ දිමුත් කරුණාරත්න 149 ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 117ක් ද, ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ කීත්රුවන් විතානගේ ලකුණු 125ක් ද, බ්ලූම් ෆීල්ඩ් කණ්ඩායමේ නිපුන් කරුණානායක නොදැවී 125ක් ද රැස් කළහ. මලින්ද පුෂ්පකුමාර හා මදුක ලියනපතිරනගේ (චිලව් මේරියන්ස්) කසුන් රාජිත (සරසන්ස්) විකුම් සංජය (බී. ආර්. සී.) කඩුලු හය බැගින් දවාලමින් පන්දු යැවීමේ දී දස්කම් පෑහ.
· ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හා ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති 2015 ක්‍රිකට් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජිලෝ මැතිව්ස් වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තුන් ඉරියව්වේම කැපී පෙනුණු හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සහ හොඳම එක්දින ක්‍රීඩකයා සම්මාන ත්‍රිත්වයම දිනා ගත්තේය.
වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය නොබෝදා විශ්‍රාමගත් තිලකරත්න දිල්ෂාන්ද නැගී එන ක්‍රිකට් ක්‍රීඩක සම්මානය කුසල් මෙන්ඩිස්ට ද හිමිවිණි. වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් ද, හොඳම ටෙස්ට් පිතිකරු ලෙස දිනේෂ් චන්දිමාල් සම්මානයෙන් පිදුම් ලදහ. එක්දින හොඳම පිතිකරු වූයේ කුමාර සංගක්කාරය. එක්දින ඕවර 50 සහ ටී 20 හොඳම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංගය.
ටී 20 හොඳම පිතිකරු වූයේ තිලකරත්න දිල්ෂාන් ය. ක්‍රීඩිකාවන් අතුරින් සම්මාන හිමිකරගත්තේ චමරි අතපත්තු (දක්ෂම පිතිකාරිනිය) ඉනෝකා රණවීර (හොඳම පන්දු යවන්නිය) ශෂිකලා සිරිවර්ධන (තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩිකාව) ය.
· ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට
තායිලන්තය බැංකොක් නුවර පැවැති හයවන ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ඉන්දියාව හිමිකර ගත්තේය. මේ තරඟාවලිය සිව්වරක් ඕවර 50 තරඟාවලියක් ලෙසත් දෙවරක් ටී 20 තරඟාවලි ලෙසත් පැවැති අතර, ශූරතා හයම හිමිකරගත් තේ ඉන්දියාවය.
ශ්‍රී ලංකාවට අවසාන තරඟයට සුදුසුකම් ලැබීමට නොහැකි වූයේ අවසාන පූර්ව තරඟයේ දී පකිස්තානයට පරාජය වීමෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තායිලන්තය හා බංගලදේශය පරාජය කළහ. ලංකා ක්‍රීඩිකාවන් අතුරින් චමරි අතපත්තු, හෂිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධිනී හා ඉනෝකා රණවීර කැපී පෙනුණි.
· හෂාන් – චන්දන පුහුණුකරුවන් ලෙස
හිටපු එක්දින හා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න සහ තුන් ඉරියව් ක්‍රීඩක උපුල් චන්දන වත්මන් ජාතික කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ලෙස පත්කර තිබේ. මොවුන් දෙදෙනාම 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සාමාජිකයන්ය.
ටෙස්ට් තරඟ 83ක ට හා එක්දින තරඟ 200ක ට සහභාගි වී සිටින හෂාන් තිලකරත්න ටෙස්ට් තරඟ 11ක දී ලංකා පිලට නායකත්වය දුන්නේය. ටෙස්ට් තරඟ 16ක ට හා එක්දින තරඟ 147ක ට උපුල් චන්දන සහභාගි වී තිබේ.
· ක්‍රිකට් පුහුණු වැඩසටහන්
ටෙස්ට් හා එක්දින ජාතික කණ්ඩායම්වලට පැන නැගෙන ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා “ක්‍රිකට් ඉදිරි පුහුණු දැක්ම” වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක වේ. ජාතික කණ්ඩායමට අතිරික්ත ක්‍රීඩක පිරිසක් නිර්මාණය කිරීම වේග පන්දු යවන්නන් පිරිසක් සූදානම් කිරීම ද මීට අයත්ය. උසස් කාර්ය සාධක කළමනාකරු සයිමන් විල්ස් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා යටතේ මෙය සිදු වේ.
– බන්දුල –