එදා සිට අද දක්වා පාසල් ක්‍රිකට්
ආසියානු අවුරුදු 19න් පහළ කුසලානය ඉන්දියාව දිනා ගැනීමෙන් පසුව නොබෝදා තරගාවලිය නිමාවට පත් වූ මේ අවස්ථාව ශ්‍රී ලංකා යෞවනයන් එහි දී තරග වැදුණු විලාශයක් එදා සහ අද පාසල් ක්‍රිකට් තත්ත්වයන් පිළිබඳව කතා කිරීමට හොඳම වේලාවයි.
ඉන්දියාව අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය මෙවර දිනාගත්තේ පිටපිටම තෙවන වතාවටය. මෙයින් පෙනී යන්නේ ඉන්දීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත් දියුණු තත්ත්වයක දැන් පවතින බවය. අසල්වැසි නේපාලය සහ මැලේසියාව සීඝ්‍ර දියුණුවක් ලබා සිටී. නේපාලය ශ්‍රී ලංකාවට පරාජය වූයේ ලකුණකිනි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම විශිෂ්ඨ දස්කම් නොපෙන්වූවත් තරගාවලිය පුරාම දස්කම් පෑමට ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ස්වර්ණමය ඉතිහාසයකට හිමිකම් කියයි. 1960 දශකයේ සිට දශක තුනක් පමණම ලොව හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව පැවතුනේ අප රටේය. අද තරම් තරග කාරිත්වයක් එදා නොතිබුණත් ජාතික කණ්ඩායමට පාසල් වියේ දීම හෝ පාසල් හැරගොස් වසරකින් දෙකකින් ඇතුලු වූ ක්‍රීඩකයින් බොහෝ පිරිසකි. 1979 එංගලන්තයේ පැවැති දෙවැනි පෘඩෙන්ෂල් කුසලාන සීමිත ඕවර 60 ක්‍රිකට් තරගාවලියට ලංකාවෙන් ඉදිරිපත් කළ ක්‍රීඩකයන් 14 දෙනාගේ කණ්ඩායමට රාජකීය විදුහලේ සිසුන් දෙදෙනෙකු වූ රන්ජන් මඩුගල්ලේ සහ සුදත් පැස්කුවල් අයත්විණි. ඊට පෙර 1967 දී ලංකාව ගෝපාලන් කුසලානයට ඉන්දියාව සමග තරග වදිද්දී අනුර තෙන්නකෝන් (ශාන්ත තෝමස්) හරින්ද්‍ර දුනුවිල (ත්‍රිත්ව) ලංකා පිල නියෝජනය කළහ.
එම අවධියේ සිට වරින්වර කෙළින්ම පාසලෙන්ම හෝ පාසලින් පිට ව වසරකින් දෙකින් ජාතික කණ්ඩායමට ඇතුල් වූ ක්‍රීඩකයන් බොහෝමයකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ අනුර තෙන්නකෝන් හා දුලිප් මෙන්ඩිස් නාලන්දාවේ බන්දුල වර්ණපුර සහ අනුර රණසිංහ රාජකීය විදුහලේ රන්ජන් මඩුගල්ලේ ආනන්දයේ අර්ජුන රණතුංග ඊට පසු දශකයක දී ඩී. එස්. සේනානායක විදුහලේ අරවින්ද ද සිල්වා නාලන්දාවේ රොෂාන් මහානාම හා අසංක ගුරුසිංහ එලෙස පැමිණි ක්‍රීඩකයන් අතුරින් කිහිප දෙනෙකි.
උසස්ම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් එදා පාසලින් බිහිවුවත් අද තරම් එදා පාසල් ක්‍රිකට් තරග තිබුණේම නැත. එදා පාසල් ක්‍රිකට් වාරය ජනවාරි ආරම්භ වී මාර්තු මස නිමාවට පත්වේ. ක්‍රිකට් වාරයට කණ්ඩායමක් සහභාගි වන්නේ තරග අටකට පමණි. ක්‍රීඩකයනට සිංහල අවුරුදු නත්තල් සැමරීමටත්, අපොස සාමාන්‍ය පෙළ සහ උසස්පෙළට පාඩම් කිරීමටත් හොඳටම අවස්ථාව ද ඇත.
ක්‍රිකට් රගර් මළල ක්‍රීඩා ආදිය පාසලේ සහභාගි වී පසුව ජාතික කණ්ඩායම ද නියෝජනය කළ වෛද්‍යවරු ඉංජිනේරුවරු ගණකාධිකාරිවරුන් අප රටේ විශාල පිරිසකි. උදාහරණයකට දැක්විය හැකි අයෙකු වන්නේ තවමත් ක්‍රීඩා පරිපාලනයට ද සම්බන්ධව සිටින වෛද්‍ය මයියා ගුණසේකරය. 70 දශකයේ ඔහු පාසලේ රගර් ක්‍රිකට් ක්‍රීඩාවන්ට සහභාගි වී ලංකා රගර් කණ්ඩායමට නායකත්වය දී (වෛද්‍ය විදුහලේ සිටිය දී) අද ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වී සිටී.
අද පාසල් ක්‍රිකට් තත්ත්වය මීට වඩා වෙනස්ය. ක්‍රීඩකයාටත් වඩා බොහෝ දෙමාපියන් තම පුතා කණ්ඩායමට ඇතුල් වී ක්‍රීඩා කරනවා දැකීමට කැමතිය. ලොව හොඳම ගණයේ පිත්ත පුතාට මිල දී ගෙන දේ. මෝටර් රථයෙන් හෝ බසයෙන් ගෙන යයි. රැගෙන එයි. ක්‍රිකට් පාසල්වලට යවයි. කොටින්ම නොමසුරුව වියදම් කරයි. එදා දෙමාපියකු පිටියට එන්නේ තරගයක් නැඹීමට පැය කිහිපයකට දිනක් පමණි. වත්මන් දෙමාපියන්ගේ උනන්දුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට සංවර්ධනයට ඉතා යහපත් වේ. අද ඕනෑ තරම් ක්‍රිකට් පාසල් හා පුහුණුකරුවෝ ද සිටිති. දක්ෂ ක්‍රීඩකයකු පාසලෙන් එළියට එනවිට රැකියා සැපයීමට සමාගම් විශාල ගණනාවක් බලා සිටී.
අද අවශ්‍යව ඇත්තේ පාසල් ක්‍රිකට් ක්‍රීඩා මට්ටම මීට වඩා උසස් තත්ත්වයකට ගෙන ඒමටය. වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඈත පළාත්වල යෞවනයන්ගේ ක්‍රිකට් දක්ෂතා ඔපනැංවීමටත්, ක්‍රීඩාංගන තත්ත්වයන් උසස් කිරීමටත්, හේමාල් මෙන්ඩිස්ට සහ කමල් ධර්මසිරිට වගකීම් රැසක් පවරා ඇත. තව වසර දෙකක දී හෝ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව උසස්ම මට්ටමකට පත්කිරීම අද යුගයේ අවශ්‍යතාවයක්ව පවතී.
වත්මන් ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් පාසලෙන් ඉවත්වන විටම ජාතික කණ්ඩායමට එක් වූ දෙදෙනෙකු වන්නේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ළහිරු කුමාරය. එදා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ගැනීමට ක්‍රීඩකයකුට අසීරු කරුණක් වුවත් අද එය විවෘතව පවති. අවශ්‍යවන්නේ දක්ෂතාව හා කැපවීමයි.
ආසියානු කුසලතා අවුරුදු 19න් පහළ තරගාවලියට සහභාගි වූ ලංකා ක්‍රීඩකයන් අතුරින් නායක කවිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, රෙවාන් කෙලී, ජෙහාන් ඩැනියල්, නිපුන් රංසික සහ ප්‍රවීන් ජයවික්‍රම කැපී පෙණුනි. ශ්‍රී ලංකා ඉන්දියා අවසන් තරගයේ දී මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක ට ඕවර 50 දී ලකුණු 273ක් ලැබීය. ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ කඩුලු තුනකට ලකුණු 197ක් ලබා සිටියත් එතැන් සිට ලකුණු 29ක ට කඩුලු 6ක් දැවී යාමෙන් ජයග්‍රහණය ඉන්දියාවට අත්විය. තරගයේ 42 වන ඕවරය තෙක් ම තරගය ශ්‍රී ලංකාව තමන් වෙත යොමුකර ගෙන සිටියත් අවසන් ඕවර කිහිපයේ දී ඔවුන් වෙතින් එය ගිලිහිණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-