2016 ට ආයුබෝවන් කීම
2016 වසරේ ක්‍රිකට් ක්‍රීඩාව පැවැති ආකාරය දෙස ආපසු හැරී බලද්දී ක්‍රිකට් ක්‍රීඩකයන් එතෙර – මෙතෙර පෑ දස්කම් මෙන්ම ක්‍රිකට් සංවර්ධනය උදෙසා පරිපාලනය සිදුකළ මෙහෙයයන් ද පිළිබඳව කතා කිරීම වැදගත්ය.
2016 වසර ආරම්භවන විට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිටියේ නවසීලන්තයේ ය. එම සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් එහි යන විට නායකයා ඇතුළු කිසිඳු ක්‍රීඩකයෙකු මිට පෙර එහි සංචාරය කර තිබුණේ නැත. 2015 දෙසැම්බර් සිට 2016 ජනවාරි මැද භාගය දක්වා අධික ශීත දේශගුණයක් සහිත එරට දී ශ්‍රි ලංකාව ටෙස්ට් තරගාවලිය 2 – 0 කින් ද එක්දින තරග 3 – 1 කින් ද පරාජයට පත්විය. ටී 20 තරග දෙකේ ජය අත්වූයේ ද නවසිලන්තයටය.
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වූ ටී 20 ලෝක සූරතා තරගාවලියට පෙරහුරුවක් ලෙසින් ඉන්දියාව සමග එහි දී පැවැති ටී 20 තරග තුනේම ජය අත්වූයේ ඉන්දියාවටය. ඉන්දියාවේ ටී 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වයට ලසිත් මාලිංග නම් කළත් ආබාධ මත පසුව හේ සහභාගි නොවීය. මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ලංකා නවක කණ්ඩායමට එහි දී අවසාවන පූර්ව වටයට සුදුසකම් ලබා ගැනීමට අවස්ථාව උදා නොවීය.
මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර විශ්‍රාම ගැනීමෙන් ද ලසිත් මාලිංග (ආබාධ මත) හා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩා නොකිරීමෙන් ද ශ්‍රි ලංකා කණ්ඩායම මේ වන විට පසුවූයේ තරමක් කෝඩුකාර තත්ත්වයකටය. එහෙත් ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ වී තරගාවලියේ අඩක් ගෙවී යන විට ලංකා කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් සිටියහ. ප්‍රථම ටෙස්ට් තරගය එංගලන්තය ඉනිමකින් හා ලකුණු 88 කින් ද දෙවන ටෙස්ට් තරගය කඩුලු 9කින් ද පහසු ආකාරයකින් ජය ලැබුවත් ජය පැරදුමෙන් තොරව නිම වූ අවසාන ටෙස්ට් තරගයේ වැඩි ගෞරව අත්වූයේ ශ්‍රී ලංකාවටය. රංගන හේරත්, කුසල් මැන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, එහි දී කැපී පෙණුනි. එක්දින තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රථම තරගය ලකුණු සම වූවත් ඉතිරි තරග හතර එංගලන්තය ජය ලැබුවේ කඩුලු 10කින් කඩුලු 6කින් ලකුණු 122කින් හා කඩුලු 8කින් පහසු ආකාරයටය. ටී 20 තරග දෙක ද ජය ගත්තේ ද එංගලන්තයයි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගාවලියක් වූයේ ටෙස්ට් තරග 3 – 0 ට ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගැනීමෙනි. හේරත්, මෙන්ඩිස්, ධනංජය, දිල්රුවන්, චන්දිමාල්, මැතිව්ස්, සඳකැන් මෙහි දී දස්කම් පෑහ. සිමිත ඕවර තරගවල දී ලංකා කණ්ඩායමට අමිහිරි අත්දැකීමිවලට මුහුණදීමට සිදුවූයේ එක්දින තරගාවලිය 4 – 1 කින් ද ටී 20 තරග 2 – 0කින් ද පරාජය වීමෙනි. එංගලන්ත සංචාරයේ දී ආබාධයට ලක් වූ ටෙස්ට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු වෙනුවට පසුව එංගලන්තයට ගිය ලංකා සංවර්ධන (ඒ) කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආපසු ගෙන්වා ගත්තේ ඕස්ට්‍රේලියානු පිලට මුහුණදීමට ය. ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් සාර්ථක වීම විශේෂ සිද්ධියකි.
පසුව සිම්බාව්වේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී ටෙස්ට් තරග දෙක 2 – 0 කින් ජයගෙන බ්ලූ මවුන්ටන් කුසලානය දිනා ගත්තේය. කොදෙව් පිල ද සහභාගි වූ තුන්කොන් තරගාවලිය ජය ගත්තේ ද ලංකා කණ්ඩායමය. ආබාධ මත නායක මැතිව්ස් සහ උපනායක දිනේෂ් චන්දිමාල් මෙයට සහභාගි නොවූ අතර, රංගන හේරත් ටෙස්ට් තරගාවලියටත් උපුල් තරංග එක්දින තරගාවලියටත් නායකත්වයන් ලබා දුන්හ. වසරේ අවසාන තරගාවලිය වූ දකුණු අප්‍රිකා සංචාරයේ ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ලකුණු 206කිනි.
වසරේ තවත් විශේෂ සිදුවීම් වූයේ හිටපු නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් රංගන හේරත් 2016 වසරේ කඩුලු පනහ ලැබූ ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීම හා ඕස්ට්‍රේලියාව සමග පිට පිටම කඩුලු තුනක් (හැට්රික්) දවාලීමය.
2016 වසරේ ක්‍රිකට් සංවර්ධනය පිළිබඳව කතා කිරීමේ දී ක්‍රිකට් පරිපාලනය පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍යය. සිදුකළ විශාල කාර්යය භාර්යයක් මෙලෙසින් කෙටි සටහනකින් විස්තර කළ නොහැකි වූවත් සිදුකළ ප්‍රධාන කාර්යයන් මෙනෙහි කිරීම වැදගත්ය. දීර්ඝ කාලයක් අතුරු කමිටු මගින් හෙම්බත්ව සිටී ශ්‍රී ලාංකිකයනට ඡන්දයෙන් තේරීපත් වූ නිල මඩුල්ලක් පත්කර ගැනීමට අවස්ථාව උදාවූයේ 2016 වසරේදීය.
තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් තේරී පත් වූ නව ක්‍රිකට් පාලන මණ්ඩලය වසරකට අඩු කාලයක් තුළ සිදුකළ මෙහෙයය අතිවිශාලය. දකුණු අප්‍රිකා ජාතික ග්‍රැහැම් ෆෝඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස ගෙන්වා ගැනීම බ්‍රිතාන්‍ය ජාතික සයිමන් විල්ස් නවීන තාක්ෂණය මත උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ (හයිපර්ෆෝමන්සස්) කළමනාකරු ලෙස පත් කිරීම නික් බෝතාස් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් ආරම්භයේ දී ම පත්කර ගැණිනි. 1996 ලෝකක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චමින් ද වාස් (පන්දු යැවීම) හෂාන් තිලකරත්න (පිතිකරනය) උපුල් චන්දන (පන්දු රැකීම) පත්වීම් ලදහ. තරුණ ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාව ලබාදීම වසරපුරාම දක්නට ලැබිණි. තරුණ ක්‍රීඩකයන් 3- 4 කට ජාතික කණ්ඩායමේ දොරටු විවෘතවීම 19න් පහළ හා සංවර්ධන කණ්ඩායම එංගලන්තයේ තරගාවලින්හි නිරත කරවීම 23න් පහළ කණ්ඩායමේ එතෙර මෙතෙර තරගාවලියන්ට ඉදිරිපත්වීම ආසියානු අවුරුදු 19න් පහළ තරගාවලිය ශ්‍රි ලංකාවේ පැවැත්වීම ඒ අතුරින් කිහිපයකි. ශ්‍රි ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීමට අන්තර් සමාජ ක්‍රිකට් සංවර්ධන අත්‍යවශ්‍ය බව වටහාගත් තිලංග සුමතිපාල පරිපාලනය ප්‍රිමියර් ක්‍රීඩා සමාජවලට රුපියල් විසිහය කෝටි හතළිස් ලක්ෂයක මුදලක් වෙන් කළේය. ක්‍රීඩකයන් සියයක් සමග ඛාණ්ඩ හතරක් යටතේ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීම පෙන්වන දක්ෂතා මත ක්‍රීඩකයන්ට ප්‍රසාද දීමනා වැඩි කිරීම ක්‍රීඩකයන් දිරිගැන්වීමට ගෙන ආ යෝජනාවන්ය.
පාසල් ක්‍රිකට් ක්‍රිඩාව හා කාන්තා ක්‍රිකට් සංවර්ධනයට ද පියවර ගණනාවක් ගැනිණි. එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කාන්තා නණ්ඩායම් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර, ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියට සහභාගි විය. කාන්තා ක්‍රිකට් පරිපාලනයෙහි ද වෙනස්කම් රාශියක් සිදු විය. රටපුරා අවුරුදු 15න් පහළ 17න් පහළ ක්‍රිකට් සංවර්ධනයට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වූ අතර, 13න් පහළ හා 15න් පහළ දීපවමාප්ත තරගාවලිය සංවිධානය විය. 19න් පහළ ආසියානු තරගාවලියේ අවසාන තරගයට ද ලංකා පිල සුදුසුකම් ලැබීය.
ප්‍රිමියර් ක්‍රිකට් සමජවලට සියයට තිහක වටිනාකමින් මුදලට බෝලිං මෙෂින් තරතිලි රෝලර් හා ජාතික පිලට දඟ පන්දු යැවීමේ උපකරණ සැපයිණි. ටැස්මීනියාව සමග ක්‍රිකට් සංවර්ධන ක්‍රියාදාමයකටත් මෙරට අන්තර්සමාජ ක්‍රිකට් පරිපාලන විනය රැකීමටත් පියවර ගැණිනි. එතෙර හා මෙතෙර තරගාවලියන් හි දක්ෂතා පෙන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රිකට් සම්මාන උළෙල දෙකක් ‘වෝටර්ස් එජ්හි’ සහ ටාජ් සමුදාහි සංවිධානය විය.
ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරග 3 – 0 කින් පරාජය කළ ටෙස්ට් කණ්ඩායමටත් ප්‍රථමවරට එංගලන්තයේ දී එරට ටෙස්ට් හා එක්දින තරගවල දී පරාජය කළ 19න් පහළ කණ්ඩායමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයට ගෙන්වා උපහාර පිරිනමා මීළඟ ලෝක කුසලානයට ඉලක්කයක් ද ලබා දුන්නේය.
තිලංග සුමතිපාල මහතාගේ සභාපතිත්වයෙන් හා මොහාන් ද සිල්වා ලේකම් ධුරයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව 2016 වසර තුළගත් තීරණයන් කිහිපයකි ඉහත දැක්වූයේ. ඔවුනට 2017 වසරේ දී මීටත් වඩා සේවාවක් ඉටු කිරීමට අවස්ථාව උදා වේවායි අපි පතමු.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-