පරාජය වූ ටෙස්ට් තරගාවලියෙන් ඉගෙනගත යුතු දෑ බොහෝය
දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය තරග 0 – 3 කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා ටෙසට් කණ්ඩායමට එයින් ඉගෙනගත යුතු වූ කරුණු රැසකි.
ශ්‍රී ලංකාව මෙලෙස ටෙස්ට් තරග 3ම පරාජයට පත් වූ 5 වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර ඉන්දියාව සමග වරක් ද ඕස්ට්‍රේලියාව සමග දෙවරක් ද මෙවර දකුණු අප්‍රිකාව සමග ද ලංකා පිල පරාජයට පත් විය. මීට පෙර ලත් දරුණුම පරාජය 1993 – 94 වසරේ ඉන්දියාව වෙතින් ටෙස්ට් තරග තුනම දින තුනාමහරක කාලය තුල ඉනිමක දී පරාජය වීමයි. සෙනසුරාදා නිම වූයේ දෙවැනි ලොකුම පරාජයයි. දකුණු අප්‍රිකාවේ දී ලත් මේ පරාජයට ප්‍රධානම හේතුව වූයේ පිතිකරුවන් දැක්වූ දුර්වලතාවයයි.
ටෙස්ට් තරග තුනේ ලංකා ඉනිම හයම ලකුණු 100 -300 සීමා වූ අතර එය කොහෙත් ම ප්‍රමාණවත් නොවීය. ලංකා ඉනිම හයේ දී අර්ධ ශතක හතරක් පමණක් වාර්තා වීම ද අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයකි. දකුණු අප්‍රිකානු වේගවත් තණතිලිවල එරට පිතිකරුවන් දිගු දිගු වේලාවක් කඩුල්ලේ රැඳී සිටියත් ලංකා පිතිකරුවන්ට එම කාර්යය ඉටු කිරීමට නොහැකි විය. කණ්ඩායම් දෙකේ පිතිකරුවන් අතර වෙනස වූයේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් කඩුල්ලෙන් පිටතට යන පන්දු නිදැල්ලේ හැර හොඳ පන්දුව නවතාලමින් පන්දුව මෘදු වනතුරු දිගු වේලාවක් කඩුල්ලේ රැඳී පන්දුයවන්නන් පීඩාවට පත් වූ අවස්ථාවේ සිටම වේගපහර එල්ල කිරීමට උත්සහ දරනු දක්නට ලැබිණි.
වේග තණතිලිවල පන්දුවට පහරදීමේ දී ලංකා පිතිකරුවන් පෙන්වන දුර්වලතා ටෙස්ට් තරගාවලිය පුරාම දිස්විය. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තයේ ද සකස් වනුයේ වේගවත් තරාතිලිය. ආසියානු කලාපයේ වේගවත් තණතිලි සකස් නොකිරීම එම රටවල සංචාරය කරන ආසියානු කණ්ඩායම්වලට පාඩුවකි. ශ්‍රී ලංකාවේ අවුරුදු 17න් පහළ 19න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිට මේ තත්ත්වයට හුරු කිරීමේ අවස්ශ්‍යතාවය දැන් පැන නැගී ඇත.
ටෙස්ට් තරගාවලියේ දී ලංකා කණ්ඩායමට සැලැස්මක් ඇති බවක් නොපෙණුනු අතර ඔවුන් සටන්කාමී ක්‍රීඩාවිලාශයක් නොපෙන්වූ බව දකුණු අප්‍රිකාවේ හිටපු නායකයෙකු හා වත්මන් විස්තර විචාරක කෙප්ලර් වෙසල්ස් තරගයෙන් පසුව ප්‍රකාශ කළේය. ඔහු පෙන් වූ තවත් වැදගත් කරුණක් වූයේ දකුණු අප්‍රිකා තරාතිරිවල හොඳින්ම පන්දු යැවූ වේගපන්දු යවන ළහිරු කුමාර ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් විසින් සිව්වැනි පන්දු යවන්නා ලෙස සෑහෙන්න ප්‍රමාද වී හඳුන්වාදෙන්නේ මන්ද යන්න ප්‍රශ්ණයක් බවය. 19 හැවිරිදි ළහිරු කුමාර නවකයෙකු වුව ද අවසාන ටෙස්ට් තරගයේ දී හෝ ඔහු අත්හදා බැලීමට අවස්ථාව තිබිණි. කරුණු කෙසේ වුවද පිතිකරුවන් ලකුණු පුවරුවෙහි ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස් නොකර තිබීම පන්දු යවන්නන්ට තම කාර්යය පහසුවෙන් ඉටු කිරීමට අපහසු හේතුවකි.
තරගයෙන් පසුව ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් කීවේ තමන්ට පරාජයන් රැසකට මුහුණු දී අත්දැකීම් රැසක් ලබා ඇතත් මෙවැනි දැවැන්ත පරාජයකට මුහුණ දීම අසීරු කරුණක් බවත් දකුණු අප්‍රිකානුවන් සෑම අංශයකින්ම තම කණ්ඩායමට වඩා පෙරමුණේ සිටි බවත්ය. පරාජය පිළිබඳව මුළු කණ්ඩායමම කණුගාටු වන බවද මැතිව්ස් කිවේය.
ජොහානස් බර්ග් හි පැවැති තෙවන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාව මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 426ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලබංගත්තේ ලකුණු 131කි. ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ද ලකුණු 177ක ට දැවීයාම මත දකුණු අප්‍රිකාව දැවැන්ත ජයක් ලැබුවේ ඉනිමකින් හා ලකුණු 118කිනි.
දැන් ටෙස්ට් තරගාවලිය අවසානය. එය සම්පූර්ණයෙන්ම අමතක කරනවා හැරෙන්නට වෙන කිසිවක් ඉතිරිව නොමැත. දැන් කළ යුත්තේ ලබන 20වැනිදා ඇරැඹෙන ටී-20 තරග තුනටත් ඉන්පසුව පැවැත්වෙන සිමිත ඕවර 50 තරග පහටත් සූදානම් වීමය. ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් නවදෙනෙකු ආපසු පැමිණි අතර ඒ වෙනුවට සීමිත ඕවර තරගවල දස්කම් දක්වන ක්‍රීඩකයන් නවදෙනෙකු එහි යැවිණි. සීමිත ඕවර තරගවල දී ද දකුණු අප්‍රිකානුවන් පසුවන්නේ ඉතාමත් ප්‍රබල තත්ත්වයකය. අවශ්‍ය වන්නේ ලංකාපිල ගෞරවනීය ලෙස තරග වැදීමය.
උණ රෝගයෙන් පෙළෙමින් සිටින හෙයින් ලසිත් මාලිංග නැවත වතාවක් මේ සංචාරයට ද සහභාගි නොවන අතර නැවතත් ඇන්ජිලෝ මැතිව්ස් ලංකාපිලට මෙහිදී නායකත්වය ලබාදෙනු ඇත. ටෙස්ට් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් හයක් එක්දින තරගාවලියට සහභාගි වීමට නියමිතය.
– බන්දුල මොල්ලිගොඩ –