පැරදුනත් ජයග්‍රහණය පසු පස හඹා ගිය ආකාරය ප්‍රසංශනීයයි
දකුණු අප්‍රිකා සංචාරයේ එක්දින තරගාවලියේ සිව්වන තරගයේ දී ප්‍රථමවරට ලකුණු අතරට පිවිසි ලංකා ඉදිරිපෙළ පිතිකරුවෝ දකුණු අප්‍රිකානුවන් ලබාදුන් ලකුණු 368 ක දැවැන්ත ඉලක්කය අසලටම පැමිණ 327 ක ට දැවී ගෞරවනීය පරාජයක් අත්වූවත් ලංකා පිතිකරුවෝ ලකුණු පසු පස හඹා ගිය ආකාරය ප්‍රසංශනීයය.
ලකුණු 368 ලකුණු ප්‍රමාණය හඹා යද්දී 44 ඕවරය වන විට ලංකා පිතිකරුවෝ කඩුලු 4 කට ලකුණු 307ක් ලබා ජයග්‍රහණය පෙනි පෙනී සිටියත් අවසාන කඩුලු හය දැවීගියේ ලකුණු විස්සකට ය. ලංකා අගපෙළ පිතිකරුවන් මේ ඉලක්කය කරා යාමට සමත්වූයේ නම් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු නියතය. ඉදිරිපෙළ පිතිකරුවන් සාර්ථක වනවා නම් තරගයක් කෙතරම් තියුණු වනවා ද යන්න මෙය හොඳම නිදසුනකි.
ජයග්‍රහණය සඳහා ලකුණු හඹායාමේ අඩිතාලම දැමු නායක උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ලංකා මුල් විකට්ටුවට පස්වන ඕවරයේ දී ලකුණු පනහ ද දසවන ඕවරයේ දී ලකුණු 100 ද ඉක්මවමිනි. ලකුණු හඹා යාමේ දී ලංකා පිතිකරුවන් ප්‍රථම ඕවරයේ සිට 40 වන ඕවරය දක්වා ම සිටියේ දකුණු අප්‍රිකා පිතිකරුවවට වඩා ඉදිරියෙනි.
සුපිරි පිතිහරඹයක නියැලුණු නායක උපුල් තරංග පන්දු 77ක දී ශතකය ලැබුවේ හයේ පහර හතක් හා හතරේ පහර නවයක් සමගය. මෙය දකුණු අප්‍රිකා සංචාරයේ ලංකා පිතිකරුවකු ලැබූ ප්‍රථම ශතකයයි. ශ්‍රී ලංකාව විසිපස්වන ඕවරය වනවිට කඩුල්ලකට ලකුණු 196ක් ලබා ජයග්‍රහණ ලබන තත්ත්වයක සිටි අතර දකුණු අප්‍රිකානුවන් ප්‍රථම වතාවට සීමිත ඕවර තරගාවලියේ දී දැඩි පීඩනයකට පත්ව සිටීම ද විශේෂත්වයකි.
ලංකා ඉදිරිපෙළ පිතිකරුවෝ පන්දුයවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්කරමින් ලකුණු පසුපස හඹායද්දි කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය පිරෙන්නට පැමිණි ක්‍රීඩා ලෝලීන් දැඩි නිශ්ශබ්දතාවයකින් මවිතව බලා සිටි අතර, පන්දු රකින්නන්ට සිදුවූයේ මලල ක්‍රීඩා තරගායක මෙන් පිටිය පුරා වේගයෙන් දිවීමය. (පන්දුව පසුපස)
ශ්‍රී ලංකා නායක උපුල් තරංග මෙදින ලබාගත්තේ තම 14 වන ශතකයයි. කණ්ඩායමේ පළපුරුදුම ක්‍රීඩකයා වන තරංග මේ තරගයට ඉදිරිපත් වනවිට එක්දින ලකුණු 5600 ඉක්මවා සිටි අතර, කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් දස දෙනාම ලබා සිටියේ ඉන් අඩක් වන ලකුණු 2800ට අඩු ප්‍රමාණයකි. ඉන් පැහැදිලි වන්නේ කණ්ඩායමේ තාරුණ්‍යයයි. ලංකා ප්‍රථම කඩුල්ලට උපුල් තරංග හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 139ක් රැස් කළේ පන්දු 97ක දීය. මේ වන විට දික්වැල්ල ලකුණු 58කට දැවී ගියේ පන්දු 47 ක දී හතරේ නවයක් සමගය. දික්වැල්ල 20-20 හා එක්දින තරගාවලිය පුරාම මෙතෙක් පෑ දස්කම් විශිෂ්ටය.
තරංග සමග දෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් (29) තවත් අගනා ලකුණු 64ක් එක්කළේ ලංකා බලාපොරොත්තු ඉහළ නංවිමිනි. මුළු ලකුණු 216 දී නායක තරංග ලකුණු 119කට දැවී ගියේ පන්දු 90 කදී හයේ හතක් හා හතරේ 11ක් සමගිනි. ලංකා අපේක්ෂා අත් නොහැරිය සඳුන් වීරක්කොඩි (58) සහ අසේල ගුණරත්න (38) පන්දු 59 ක දී පස්වන කඩුල්ලට ලකුණු 79 ක් රැස්කරමින් කඩුලු 4කට ලකුණු පුවරුව 307 දක්වා ගෙනගියහ. වීරක්කොඩි තම ප්‍රථම අර්ධ ශතකය පන්දු 46 කදී රැස් කරද්දී ගුණරත්න (38) පස්වන කඩුල්ලට දැවී යාමත් සමග ලංකා ඉනිමේ කඩාවැටීම ද ඇරඹිනි. වීරක්කොඩි ඊයේ තරගකළේ උපනායක දිනේෂ චන්දිමාල්ගේ ස්ථානයටය. උපුල් තරංග ආරම්භක පිතිකරු ස්ථානයේත් වීරක්කොඩි අංක 4 ස්ථානයේ ත් දැන් ස්ථාවර වෙමින් සිටීම ද අවධානයට ලක්විය යුතු කරුණකි.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ෆෆ් ඩුප් ලෙසිස් පන්දු 141ක දී හයේ පහර 3ක් හා හතරේ පහර 16ක් සමග ලකුණු 185ක් රැස් කිරීමට සමත්විය. ඔහු දකුණු අප්‍රිකා පස්වන කඩුල්ලට බෙහාර්ඩීන් (නොදැවී 36) සමග ලකුණු 74ක් රැස්කළේ පන්දු 35ක දීය.
කෙසේ වුව ද ලංකා මැදපෙළ පිතිකරුවන් ලෙස ක්‍රියාකළ නුවන් කුලසේකර (01) හා සචින් පතිරණට (01) අවසාන ඕවර පහතුළ යම් කිසි ලකුණු ප්‍රමාණයකට ඒමට අවස්ථාව ලැබුණේ නම් ලංකා පිලට මේ තරගයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට අවස්ථාව හොඳටම තිබිණි.
කණ්ඩායම් දෙක අතර අවසාන හා පස්වන එක්දින තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය. එම තරගයෙන් පසු ලංකා පිල ඕස්ට්‍රේලියාවේ දී 20 – 20 තරග තුනකට හා පුහුණු 20 -20 තරගයකට සහභාගිවීමට මේ මස 13 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.
ඊට සහභාගි වන ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද සිදුවනු ඇත. දිනේෂ චන්දිමාල් කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ලක්මාල් මේ තරගාවලියට ඉදිරිපත් නොකරනු ඇතැයි වාර්තාවේ.
එලෙසම ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ට තවත් සති තුනක විවේකයක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසා ඇති හෙයින් ඔහු ද ඕස්ට්‍රේලියා සංචාරයට අයත් නොවේ.
-බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-