ශ්‍රී ලංකාව සමග 20 – 20 තරගාවලියට ඕස්ට්‍රේලියාව හොඳින් සූදානම් වෙයි
මේ මස 17 සිට 22 දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ශ්‍රි ලංකා – ඕස්ට්‍රේලියා 20 – 20 තරග තුනක තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව මේ වන විට සූදානම් වෙමින් සිටී. මේ තරග තුනට පෙර ලංකා කණ්ඩායම පුහුණු තරගයකට ද සහභගි වීමට නියමිතය.
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා (10) පස්වන හා අවසාන එක්දින තරගයට සහභාගි වීමෙන් පසුව 13 වැනිදා 20 – 20 තරගාවලියට ඕස්ට්‍රේලියාව බලා යති. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු මේ කණ්ඩායමට සහභාගි වීමට එහි යන අතර දකුණු අප්‍රිකාවේ සිටින අතිරික්ත ක්‍රීඩකයන් ආපසු මෙහි පැමිණේ.
පුහුණු 20 – 20 තරගය 13 වැනිදා පැවැත්වනුයේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ කණ්ඩායම සමගය. එහි යන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර ඇති අතර එදින රාත්‍රී එරට අග්‍රාමාත්‍යයරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. පුහුණු තරගය පැවැත්වෙන මනුකා ඔවල් ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් වූ අතර ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට යොමු කරනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20 – 20 තරග තුන පෙබරවාරි 17 මෙල් බර්න් හි දීත් පෙබරවාරි 19 ගිලෝන් හි දීත් පෙබරවාරි 22 ඇඩිලේඩ් හි දීත් පැවැත්වීමට නියමිතය. ලංකා කණ්ඩායම 23 වැනිදා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණෙති. ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගය ද පෙබරවාරි 23 වැනිදා ඇරඹීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව සමග 20 – 20 තරගාවලියේ දී ලංකා කණ්ඩායමට නායකත්වය උපුල් තරංග ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ. සීක්කුගේ ප්‍රසන්න සහ ඉසුරු උදානද ලංකා කණ්ඩායමට එක්වෙති. වේගපන්දු යවන ක්‍රීඩක හා ලංකා 20 – 20 හිටපු නායක ලසිත් මාලිංග සුවය ලබා සිටින අතර ඔහුගේ යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් පසු ඔහු කණ්ඩායමට නම් කරනවාද නැද්ද යන්න තීරණය කරනු ඇත. ඕස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එරන් ෆින්ච්ය. පුහුණු තරගය පැවැත්වෙන ඕස්ට්‍රේලියා අගමැතිගේ පිලට නායකත්වය දෙන්නේ ඇඩම් වෝගාස්ය. අගමැති පිලට ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයන් පස්දෙනෙකු සහභාගි වෙති. ටෙස්ට් ක්‍රීඩක ඇඩම් වෝගාස්, ජෝර්ජ් බේලි, ජෝ බර්න්ස්, ජේම්ස් පැටින්සන් සහ ඩැනියෙල් වොරල් ජාත්‍යන්තර තරගවලට මීට පෙර සහභාගි වී ඇති ක්‍රීඩකයෝය. මීට අමතරව එරට සිටින 19න් පහළ හා 23න් පහළ තරුණ දක්ෂම ක්‍රීඩකයන් කණ්ඩායමට එක් කරන බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ජාතික දක්ෂතා පිළිබඳ කළමනාකරු ග්‍රෙග් දැපල් ප්‍රකාශ කරයි.
නායක ඇඩම් වෝගාස් ටෙස්ට් තරග 20ක ට සහභාගි වී ඇති ක්‍රීඩකයෙකි. ජේම්ස් පැටින්සන් කණ්ඩායමට එක්වන්නේ ආබාධ මත කළකට පසුවය. එසේම ආබාධයට ලක්ව සිටි ඩැනියෙල් වොරල්ට ද නැවත ඔහුගේ දක්ෂතා පෙන්වා කණ්ඩායමට ඇතුලු වීමට අවස්ථාව සලසා තිබේ.
අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් තිදෙනෙකු මීට අයත්ය. විල් පුකොස්කි, පිතිකරු ජේසන් සංගා සහ දගපන්දු යවන අර්ජුන් නෙයාර් මේ ක්‍රීඩකයන් තිදෙනාය. අගමැතිගේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියාකරන්නේ හිටපු ටෙස්ට් නායක මයිකල් ක්ලාක්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජිලෝ මැතිව්ස් මේ තරග හතරට ආබාධ මත සහභාගි නොවන අතර උපනායක දිනේෂ් චන්දිමාල් ද දකුණු අප්‍රිකා සංචාරයෙන් පසු ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත් නොවේ.
පෙබරවාරි 15 වැනිදා ශ්‍රී ලංකාව සමග 20 – 20 පුහුණු තරගයට සහභාගි වන ඕස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම – ඇඩම්ස් වෝගාස් (නායක) ජෝර්ජ් බේලි, ජෝ බර්න්ස්, ඇලෙක්ස් කේරි, අර්ජුන් නෙයාර්, ජේම්ස් පැටින්සන්, විල් පුකොස්කි, ජේසන් සංගා, ඩී ෂෝර්ට්, හෙන්රි තෝර්න්ටන්, ඩැනියෙල් වොරල්, මැතිව් ගිල්ක්ස් (12 වන ක්‍රීඩකයා)
පෙබරවාරි 17, 19 හා 22 දිනවල ලංකාව සමග තරගවදින ඕස්ට්‍රේලියා 20 – 20 කණ්ඩායම ඒරන් ෆින්ච් (නායක) මයිකල් ක්ලින්ගර්, ට්‍රෙවිස් ෆෙඩ්, ක්රිස්ලින් මොයිසස් හෙන්රිකස්, ඈෂ්ටන් ටර්නර්, ටිම්පේන්, ජේම්ස් ෆෝක්නර්, පැට් කමින්ස්, ඇඩම් සම්පා, ඇන්ඩෘටයි, ජේ. රිචඩ්සන් හා බිලීස්ටේන්ලේක්
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20 – 20 තරග සටහන –
පෙබරවාරි 13 – ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ළගාවීම.
පෙබරවාරි 15 – අගමැතිගේ කණ්ඩායම සමග පුහුණු තරගය කැන්බරාහි දී
පෙබරවාරි 17 – ප්‍රථම 20 – 20 තරගය මෙල්බර්න්
පෙබරවාරි 19 – දෙවන 20 – 20 තරගය ගිලොන්
පෙබරවාරි 22 – තෙවන 20 – 20 තරගය ඇඩිලේඩ්
පෙබරවාරි 23 – ආපසු ශ්‍රි ලංකාව බලා පැමිණීම.
– බන්දුල මොල්ලිගොඩ –