කවුද මේ රොන් චන්ද්‍රගුප්ත
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය අන්තර් සමාජ ප්‍රධාන (සුපිරි) ක්‍රිකට් තරගාවලියේ මුල් වටයේ තරග අට නිම වන විට ඉදිරියෙන්ම සිටි පිතිකරුවා වු රොන් චන්ද්‍රගුප්ත දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ‘ඒ’ කණ්ඩායම (එංගලන්ත ලයන්ස්) සමග පැවැති එකම පුහුණු තරගයේ ලංකා ඉනිම දෙකේ දී ම වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්වෙමින් පෙන්නුම් කළේ ඔහුගේ පෞද්ගලික දක්ෂතා පමණක් නොව අන්තර් සමාජ තරගාවලියේ දක්ෂයන් ජාතික කණ්ඩායමට තේරීමට කෙතරම් සුදුසු ද යන්නත්ය.
එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල මුල් ඉනිමේ දී ලැබු ලකුණු 153න් චන්ද්‍රගුප්ත ලකුණු 48ක් ලබාගත් අතර එය එම ඉනිමේ ලංකා පිතිකරුවකු ලැබූ වැඩිම සංඛ්‍යාවයි. දෙවන ඉනිමේ දී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 324න් චන්ද්‍රගුප්ත ලැබූ ලකුණු 91 එම ඉනිමේ දී ලංකා පිතිකරුවෙකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එපමණක් නොව අන්තර් සමාජ පන්දු යවන්නන් අතුරින් ප්‍රථම ස්ථානයේ සිටින මලින්ද පුෂපකුමාර එම පුහුණු තරගයේ මුල් ඉනිමේ දී ලකුණු 82ක ට කඩුලු 3ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 35ක ට කඩුලු 3ක් ද දවාලමින් ඉනිම දේකේදීම වැඩිම කඩුලු ලැබූ ලංකා පන්දු යවන්නා බවට පත්වීමය.
මෙයින් පැහැදිලි ව පෙනී යන්නේ අන්තර් සමාජ තරගාවලියන් හි දස්කම් දක්වන ක්‍රීඩකයනට ජාතික කණ්ඩායම්වල ස්ථානයක් හිමිවන්නේ නම් ඔවුන්ට තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් උදාවන අතර, රටට ද ගෞරවයක් හිමිවීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ මෙන්ම ක්‍රිකට් ආයතනයේත් එක් ප්‍රධාන දර්ශනයක් වන්නේ දක්ෂ ක්‍රීඩකයනට නිසි තැන හිමි විය යුතුය යන්නය. අන්තර් සමාජ සුපිරි තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් 20 දෙනාගෙන් (හොඳම පිතිකරුවන් දහය හා හොඳම පන්දු යවන්නන් දහය) අතුරින් පස් දෙනෙකුට පමණක් සභාපතිගේ පිල නියෝජනය කරන සංචිතයට ඇතුළු වීමට අවස්ථාව ලැබුණත් ඉදිරියට එන දක්ෂයන් රට වෙනුවෙන් කෙතරම් සේවයක් ඉටු කරනවාද යන්න වටහා ගත යුත්තේ විශේෂයෙන් ම කණ්ඩායම තෝරන නිලධාරි මඩුල්ලය. මේ පිළිබඳව කතාකිරීම තවත් පසුවට තැබීම ඉතාමත් වටී. මේ ලිපියේ ප්‍රධාන අරමුණ ඉහත කරුණු ගැන විග්‍රහ කිරීම නොව අන්තර් සමාජ සුපිරි තරගාවලියේ මුලින්ම සිටී රොන් චන්ද්‍රගුප්ත නැමැති පිතිකරුවා කවුරුද යන්නමෙරට සියලු ක්‍රීඩා ලෝලීනට හඳුන්වාදීමය. රොන් චන්ද්‍රගුප්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය බැබලවීමට කන්ද උඩරටින් බිහිවූ තවත් සුපිරි ක්‍රිකට් තරුවකි. ඔහුගේ කුඩා කාලය පිළිබඳ චන්ද්‍රගුප්තගෙන් විමසූ විට ඔහු ඒ පිළිබඳව මෙනෙහි කළේ මෙලෙසිනි.
“මං ඉපදුනේ 1995 පෙබරවාරි මස 22 වැනිදා පේරාදෙණිය රජයේ රෝහලේ දී ය. කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩා කරන්න මං ආශාවක් දැක්වූවා. මට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අත දුන්නේ තාත්තයි, අම්මයි, මාමයි, පුංචියි (නැන්දා). මාමා ව්‍යාපාරිකයෙක් නැන්දා ගුරුවරියක්. දෙමව්පියන් ගැන විශේෂයෙන්ම කියන්න ඕනි. තාත්තයි අම්මයි දෙන්නම වැඩකළේ මහවැලි සංවර්ධන ව්‍යපෘතිවලයි. තාත්තගේ නම ජයන්ත චන්ද්‍රගුප්ත. අම්මගේ නම කල්‍යානි ජයකොඩි. දෙන්නම මහනුවර ප්‍රෙද්ශයේ ඉපදුණු එහි ම පදිංචිකාරයෝයි. තාත්තා අවසානවරට ඉගෙනගත්තේ තෙල්දෙණිය මධ්‍ය මහ විද්‍යාලයේය. තාත්තා වැඩ කළේ මහවැලි වික්ටෝරියා කාර්යාලයේ. අම්මා දිගන කන්තෝරුවේ. මං පවුලේ එකම දරුවා නිසා මේ අයගේ විශේෂ අවධානය මා ගැන තිබුණා. මං පොඩිකාලේ ඉගෙනගත්තේ ඉකෝලි ජත්‍යන්තර පාසලෙයි. මා ඒ කාලෙත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. සිව්වන ශ්‍රේණියේ දී මහනුවර ත්‍රිත්ව විදුහලට ඇතුලුවීමට ලැබීම ජීවන ගමන වෙනස් වීමට ප්‍රධාන හේතුවක් වූවා. කටුගස්තොට සුනිල් ප්‍රනාන්දු ක්‍රිකට් ඇකඩමිය තමයි මම දක්ෂ ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය වීම ආරම්භ කළේ. සුනිල් ප්‍රනාන්දු, ඉන්දික ප්‍රනාන්දු හා එන්. පන්ඩිතරත්න මහත්වරු මාව එහි දී පුහුණු කළා. ත්‍රිත්ව විදුහලට ඇතුලුවීමෙන් පසුව පොඩිකාලේ මං පුහුණුවුණේ ගාමිණි වාසලතන්ත්‍රි සහ ලසිත් රන්දෙනු යටතෙයි.
මාගේ දක්ෂතා ඔප්නැංවී නියම මාවතට වැටුණේ ත්‍රිත්ව විදුහලේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සම්පත් පෙරේරා යටතේ පුහුණුව ලබන අවධියේදියි. ශ්‍රී ලංකා අවුරුදු 15න් පහළ කණ්ඩායම නියෝජනය කර මැලේසියාවේත් ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ සංචාරය කිරීමට මට අවස්ථාව උදාවුණා. තවත් මගේ ජීවිතයේ තීරණාත්මක සිදු වීමක් වූයේ 2014 දී මහනුවර ත්‍රිත්ව විදුහලේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් නායකයා වීමයි. ඒ වසරේ දී මා ශතකයක් අර්ධ ශතක හතක් සමග ලකුණු 900ක ට ආසන්න ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වුවා ත්‍රිත්ව විදුහලේ ක්‍රිකට් පදනමට කණ්ඩායම් භාර ගුරුවරුනට විදුහල්පතිවරුන්ට රොන් චන්ද්‍රගුප්ත තම ස්තූතිය පළ කරයි.
ත්‍රිත්ව විදුහලෙන් මෑතකදී බිහි වූ සම්පත් පෙරේරා යටතේ පුහුණුව ලැබූ තිදෙනෙකුම දැන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටිති. ඒ කඩුලු රකින ක්‍රීඩක හා ප්‍රබල පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගපන්දු යවන ළහිරු කුමාර හා රොන් චන්ද්‍රගුප්තය. මේ ක්‍රීඩකයන් තිදෙනාටම ළඟ එන බංග්ලදේශ සංචාරයේ හෝ ටෙස්ට් වරම් ලැබෙතැයි අපේක්ෂිතය. ළහිරු කුමාරට දැනටම එය හිමි ව ඇත. මීට කළින් මෑතක දී ත්‍රිත්වයෙන් පැමිණි ක්‍රීඩකයෝ වූයේ රවි රත්නායක කෞෂල්‍ය වීරරත්න හා කුමාර සංගක්කාරය. මේ තිදෙනාම ලංකා පිල නියෝජනය කළහ. ඊටත් පෙර ආදි ශාන්ත ජෝශප් පුහුණුකරු ජෝන් පුල්ලේ යටතේ හරින්ද්‍ර දුනුවිල හරේන්ද්‍ර රණවීර හා ග්ලෙන් වැන්ලැන්ගන්බර්ග් වැන්නාවුන් බිහි වූහ.
මෙහි ප්‍රධාන මාතෘකාව වන රොන් චන්ද්‍රගුප්ත මෙවර අන්තර්සමාජ ක්‍රිකට් තරගාවලියේ මුල් තරග අට නිමවන විට ඉනිම 14 ක දී දෙවරක් නොදැවී ලකුණු 827ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය ලකුණු 68.91ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවෙමිනි. ඊට ශතක හතරක් අර්ධ ශතක දෙකක් හයේ දෙකක් හා හතරේ 103ක් ඇතුළත් විය. ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව ටැමිල් යූනියන් සමග 157කි. කොළඹ සී.සි. සී. කණ්ඩායම නියෝජනය කරන මොහුගේ පිතිහරඹයේ වේගය 58.23කි. වමතින් පිත්ත හසුරු වන ආරම්භක පිතිකරුවකු වන රොන් චන්ද්‍රගුප්ත හොඳින් තම පාද හසුරුවයි. වත්මන් තත්ත්වයට ඒමට හා හොඳින් ක්‍රීඩා කිරීමට හේ දැඩි ප්‍රයන්තයක් හා කැපවීමක් කළ අයෙකි. වේගපන්දුවලට මෙන්ම දඟ පන්දුවලට ද හොඳින් මුහුණ දෙන්නේ සංවිධානාත්මක විලාශයකිනි. දකුණු අත ඉදිරියට විසිකර වමතින් චයිනමන් පන්දු යවයි. පිටියේ ඕනෑම ස්ථනයක හොඳින් පන්දු රැකීමේ දක්ෂතාවය ද පෙන්වයි. ඔහුගේ පෞද්ගලිකත්වය පිළිබඳව යමක් සඳහන් කරනවා නම් රොන් ඇත්ත කතා කිරීමට කැමති කිසිවක් සැඟවීමට අකමැති අයෙක් ලෙස හැඳින්විය හැකිය. අපි ඔහුට සුභ පතමු.
– බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-