මොරටු පුත්‍රයා ශ්‍රී ලංකාව ගෞරවනීය තත්ත්වයකට පත් කරයි
මොරටු පුත්‍ර කුසල් මෙන්ඩිස් ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ප්‍රථම පස්දින ටෙසට් තරගයේ ද්විත්ව ශතකය පෙනි පෙනී ලකුණු 194ක ට දැවී ගියත් ඔහුගේ ඉනිම ශ්‍රී ලංකාවට ගෞරවනීය තත්ත්වයකට පත්වීමට දායක විණි. මෙහෙඩිගේ පන්දුවකට හයේ පහරකින් තම ප්‍රථම ද්විත්ව ශතකය ලබා ගැනීමට උත්සහ දැරීමේ දී හතරේ සීමාවේ පන්දු රකිමින් සිටි ටමීම් ඉක්බාල් දක්ෂ ලෙස උඩපන්දුව රැක ගැනීමෙන් පන්දු 285 ක දී හයේ පහර හතරක් හා හතරේ පහර 19ක් ලබා සටි මෙන්ඩිස් දැවීගියේ ද්විත්ව ශතකයට ලකුණු හයක් අඩුව තිබිය දී ය.
ඉක්මන් නොවී තම ද්විත්ව ශතකයට සෙමින් යාමට තිබූ අවස්ථාව අහිමිකර ගැනීමෙන් කුසල් මෙන්ඩිස්ට ද්විත්ව ශතක ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජයට (අරවින්ද, මහානාම, ජයසූරිය, බ්‍රෙන්ඩන්, මහේල, සංගක්කාර හා අතපත්තු ඇතුළත්) අඩුම වයසින් යාමට තිබූ අගනා වාර්තා ද අහිමි විණි.
කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක කරායාමට උත්සහ කර එය අහිමි වූ දෙවන අවස්ථාවේ මෙය වේ. ගිය වසරේ අගෝස්තුවේ දී ඕසට්‍රේලියාව සමග මහනුවර පල්ලේකැලේ දී ලැබූ ලකුණු 176 ප්‍රථම අවස්ථාවයි. කෙසේ වුවද තවමත් 22 හැවිරිදි වියේ පසුවන මෙන්ඩිස්ට ඉදිරියේ ද්විත්ව ශතක ගණනාවකට යාමට අවස්ථාව උදාවේවායි ප්‍රාර්ථනා කරමු. මෙන්ඩිස්ට ලකුණු හයකින් ද්විත්ව ශතකය අහිමි වූවත් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක සිටිය දී සිව්වන කඩුල්ලට අසේල ගුණරත්න (85) සමග ලකුණු 196ක සබදතාවයක් ද පසුව පස්වන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමග (75) ලකුණු 110ක් ද ලබා ශ්‍රී ලංකා ගාල්ල ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව ප්‍රබලම තත්ත්වයකට පත් කිරීමට දායක විණි.
මෙහි දී ගුණරත්නගේ හා දික්වැල්ලගේ දායකත්වය ද විශේෂයෙන්ම පැසසිය යුතුවේ. මේ ක්‍රීඩකයින් දෙදෙනා පසුගිය දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරයකට ඇතුලත් නොකර ගැනීමෙන් ඔවුනට අසාධාරණයයක් මෙන්ම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වූ බව අප මේ ලිපි පෙළින් කිහිප වරක්ම පවසා සිටියෙමු. අසේලගේ හා නිරෝෂන්ගේ ටෙස්ට් තරගවල විශිෂ්ඨ දක්ෂතාවයන් ඔවුන් මේ ටෙස්ට් තරගයේ දී ද මනාව ඔප්පු කළහ. කුසල් මෙන්ඩිස් ලකුණු 194ක තම විශිෂ්ඨ ඉනිමෙන් පසුව ප්‍රකාශ කළේ තමා ලොව හොඳම පිතිකරුවන් දස දෙනා අතරට පත්වීමට අපේක්ෂාවෙන් පසුවන බවත් මේ සඳහා ඉනිමක සාමාන්‍ය ලකුණු 45-50 තබා ගැනීමට උත්සහ දරණ බවත්ය.
කුසල් මෙන්ඩිස් දැනට ටෙස්ට් තරග 15ක දී ඉනිම 29ක ටෙස්ට් ලකුණු 1045ක් ලබා සාමාන්‍ය ලකුණු 36ක් ලබා සිටී. මෙයට ශතක දෙකක් හා අර්ධ ශතක තුනක් ඇතුළත්ය. බංග්ලදේශය සමග ශ්‍රී ලංකාව මුල් ඉනිමේ ලකුණු 496ක් ලැබීය.
ගාල්ල ක්‍රීඩාංගනයේ සහභාගි වූ ටෙස්ට් තරග 28න් 16ක් දිනා ශ්‍රී ලංකාවට නිතර වාසනාව ගෙනෙන මේ පිටියේ දී යළිත් වරක් කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව තීරණය කළත් මුල්දින උදයවරුව තුළම ශ්‍රී ලංකා පිතිකරුවන් අසීරුතාවයකින් පන්දුවට මුහුණදෙමින් දිවා ආහාරය වන විට කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 61ක් පමණි.
මේ වන විට තරංග (04) හා දිමුත් කරුණාරත්න (30) දැවී තිබිණි.
තරංග මුළු ලකුණු 15 දී දැවී ගිය පසු පැමිණි කුසල් මෙන්ඩිස් වේගපන්දු යවන සුබෂිෂ් රෝයිගේ ප්‍රථම පන්දුවට කඩුලු රකින ලිටන් දාස්ට උඩපන්දුවක් දුන්නත් පන්දු යැවීම නැවත ප්‍රතිරූපනය කර බලද්දී රෝයි සීමාවෙන් ඉක්මවා නීති විරෝධි පන්දුවක් යවා තිබු හෙයින් මෙන්ඩිස්ට නැවත කඩුල්ලේ රැඳී සිටීමට වසනාව උදාවිණි. මේ ටෙස්ට් තරගයට පෙර පැවැති දෙදින පුහුණු තරගයේ දී ලකුණු 190ක් ලැබූ දිනේෂ් චන්දිමාල් උවමනාවටත් වඩා පරෙස්සම් වීමට ගොස් පන්දු 54ක ට මුහුණ දී ලබාගත්තේ ලකුණු පහක් පමණි. චන්දිමාල් මුළු ලකුණු 92 දී තෙවන කඩුල්ල ලෙස දැවී අසේල ගුණරත්න පිටියට පැමිණීමත් සමග තරග ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත්ව ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. යුද හමුදා බලලත් නිලධාරි අසේල මෙහි දී තම කණිෂ්ඨ ක්‍රීඩක මෙන්ඩිස්ට නිතර උපදෙස් දෙනු දක්නට ලැබිණි. මොවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ඕවර 43ක දී ලකුණු 196ක් රැස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.5ක් වන පරිදිය. පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ප්‍රථම දින නිමවන විට ලකුණු 300 සීමාව ඉක්මවා ගොස් කඩුලු 4ක ට ලකුණු 321ක් ලබා ප්‍රබල තත්ත්වයකට පත් වීමට අවස්ථාව උදාවිණි.
බංග්ලදේශ නායකයා ඕවර 80 අවසානයේ නව පන්දුව ලබා ගැනීමෙන් පසු දෙවන ඕවරයේ දී ටස්කින් අහමඩ්ගේ වේගයෙන් කෙළින් පැමිණි පන්දුවකට ගුණරත්න හරවා පහරක් එල්ල කිරීමට උත්සහ දරද්දී පිත්තේ දාරයේ වැදුණු පන්දු කඩුල්ලේ දැවටීමෙන් ගුණරත්න දැවීගියේ තම දෙවන ටෙස්ට් ශතකයට ලකුණු 15ක් අඩුවෙන් ශතකය පෙනි පෙනී තිබිය දී ය. අඩු ලකුණු සංඛ්‍යාවකට කඩා වැටීමට ගිය ශ්‍රී ලංකා ඉනිම මෙන්ඩිස් සමග එක්ව ගොඩගත් ආකාරයට අසේල ගුණරත්නට අපගේ ප්‍රණාමය. ගුණරත්න පන්දු 134ක ට පමණක් මුහුණ දී පහසුවෙන් ලකුණු 85ක් රැස් කළේ හතරේ හතක් සමගය.
ප්‍රථම දින දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කඩුලු 2ක ට ලකුණු 61ක් පමණක් ලබා සිටියත් (ඕවර 24 දී) තරගය නිමවන තෙක් ඉතිරි වරු දෙකේ දී කඩුලු 2ක් පමණක් දැවී තවත් ලකුණු 260ක් රැස් කළේ ඕවරයකට ලකුණු හතරකට වැඩි වේගයකිනි. මෙයින් වැඩිපුරම ලකුණු ගලා ආවේ මෙන්ඩිස්ගේ හා ගුණරත්නගේ පිතිවලිනි. ගාල්ල ක්‍රීඩාංගනයේ වෙනදා මෙන්ම මෙවර ද විශාල ජනකායක් තරග නැරඹීමට පැමිණ සිටිනු දක්නට ලැබිණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-