බංග්ලදේශය 312ට දැවේ
ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලදේශ පස්දින ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු 494ට පිළිතුරු ලෙසින් බංග්ලදේශය මුල් ඉනිමේ දී සියලු ක්‍රීඩකයන් තෙවන දින සවස තේ පානයට මදකට පසු ලකුණු 312ක ට දැවී ගියේය. ශ්‍රී ලංකාවට මුල් ඉනිමේ දී 182ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවකින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදාවීම තරගයටම බලපාන සාධකයකි.
බංග්ලදේශය මුල් විකට්ටුවට ටමිම් ඉක්බාල් (57) සහ සෞම්‍ය සාකර් (71) ලකුණු 118ක් රැස් කර හොඳ ආරම්භයක් ගත්තත් ලකුණු 192 වන විට කඩුලු 6ක් ම දැවී නැවත දෙවන ඉනිමට පන්දුවට පහරදීමට යන තත්ත්වයක් උදාවිණි. හත්වන කඩුල්ලට නායක මුෂ්ෆිකර් රහිම් (85) සහ මෙහෙදිහසන් (41) ලකුණු 106ක් රැස් කරමින් මේ තත්ත්වය වෙනස් කර ගත්හ. මෙහි දී ලකුණු දහයක් ලැබීමටත් පෙර සඳකැන්ගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක අසේල ගුණරත්නට උඩ පන්දුවක් දුන්නත් එය ගිළිහිණි. ලකුණු 71ක් ලැබූ ආරම්භක පිතිකරු සාකර් ඉනිම ආරම්භයේ දී ගිලිහි සිටි දිල්රුවන් පෙරේරාට දුන් උඩපන්දුව ද ගිලිහිණි. මේ උඩ පන්දු රැක ගත්තේ නම් බංග්ලදේශයට මෙවැනි විශාල ලකුණු ප්‍රමාණයකට මුල් ඉනිමේ යාමට අවස්ථාව උදා නොවේ. ටෙස්ට් තරගයක් වැනි වැදගත් තරගයක දී මෙවැනි පහසු උඩපන්දු අතහැරීම අපේක්ෂා කළ නොහැකිය.
පසුව නායක මුෂ්ෆිකර් රහීම් හයේ පහරක් හතරේ පහර අටක් සමග ලකුණු 85ක් ද (පන්දු 161) මෙහෙදිහසන් හතරේ පහක් සමග 41ක් ද (පන්දු 77) රැස් කළහ. මොවුන් දෙදෙනාගේ හත්වන කඩුල්ලේ ලකුණු 106ක සබදතාවය දිල්රුවන් පෙරේරා විසින් මෙහෙදි දවාලීමේ නිමාවිය. දිල්රුවන්ගේ ඊළඟ පන්දුවටම ටස්කින් අහමඩ් (0) දැවී ගියේය.
නායක රංගන හේරත් ලකුණු 72ක ට කඩුලු 3ක් දිල්රුවන් පෙරේරා ලකුණු 53ක ට කඩුලු 3ක් ද ලක්මාල් ළහිරු කුමාර හා සඳකැන් කඩුල්ල බැගින් ද දවාලුහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-