ටෙස්ට් තරගයක් පරාජය වූ පමණින් රටක ක්‍රිකට් විනාශ වන්නේ නැත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාර්තු 19 වැනිදා ප්‍රථමවරට බංග්ලදේශය වෙතින් පරාජයට පත් වූයේ ලංකා කණ්ඩායමේ යම් යම් අඩුපාඩුකම් හා අතපසුවීම් මත බව පැහැදිලිය. පරාජය පිළිබඳව දුකක් ඇතිවීම ස්වාභාවිකය. ඒ පිළිබඳ සාධාරණ වූ විවේචනවලට හා උපදෙස්වලට ද අප ගෞරව කරන්නෙමු.
මේ තරගයේ වාසිය වරින් වර දෙපැත්තටම දෝලනය වෙමින් තිබී අවසන් දින දිවා ආහාරයෙන් පසුව එය බංග්ලදේශය දෙසට නැඹුරුව ඔවුන් සිය සියවන තරගය ජය ලැබීය. ශ්‍රී ලංකාව ගාල්ලේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගය ලකුණු 259ක දැවැන්ත ජයග්‍රහනයක් ලබා සිටි හෙයින් තරගාවලිය 1-1ක් ලෙස ජය පැරදුමකින් තොරව නිමාවිය. වත්මන් බංග්ලදේශ කණ්ඩායම දැනට ප්‍රබල තත්ත්වයක පසුවන අතර ඔවුන් පසුගිය මාස කිහිපය තුළ ක්‍රිකට් දැවැන්තයන් වන එංගලන්තය හා නවසීලන්තය ද පරාජය කළ අවස්ථා තිබිණි. ‘‘ලිලිපුට්ලා ගලිවර්ලාට” පරාජය වන ලෙස බංග්ලදේශය සැමදාම දැවැන්තයන්ට පරාජය විය යුතු යැයි අප නම් සිතන්නේම නැත. එසේම ඔවුන් කෙදිනක හෝ ශ්‍රී ලංකාව පරාජය කර ජයගත යුතුම වේ.
එහෙත් දෙවන ටෙස්ට් තරගයේ පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය යැයිකීමට තරම් මාධ්‍ය ආයතන ස්වල්පයක් උත්සහයක නිරත වනු අප දුටුවෙමු. එක් මාධ්‍යයයක් පවසා තිබුණේ 2017 මාර්තු 19 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කරන අතර අවසන් කටයුතු හා මිහිදන් කිරීම බංග්ලදේශයේ දී සිදු කැරෙනු ඇති බවය. මෙය වසර ගණනාවකට පෙර වෙනත් රටක සිදුවීමක් එම රටවල මාධ්‍ය වාර්තා කළ අන්දමයි. එය තමාගේ නිර්මාණයක් බව හුවා දැක්වීමට බොළඳ ලැජ්ජා සහගත උත්සහයක් දරයි. එම සත්‍ය සිදුවීම මෙසේය. එංගලන්ත ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය 1877 මෙල්බර්න් නුවර දී ඇරැඹිනි. 1882 ලන්ඩනයේ කෙනින්ග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී එංගන්තය ඕස්ට්‍රේලියාව වෙතින් පාරජයට පත් වූ අවස්ථාවේ ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව අභාවප්‍රාප්ත වූ බවත් අවසන් කටයුතු ඕස්ට්‍රේලියා දී සිදු කරන බවත්ය. එදින විකට්ටු උඩ තැබූ බේල්ස් පුළුස්සා අළු බඳුනක දමා “ඈෂෂ්” “Ashes” වෙනුවෙන් ඉන්පසු තරගාවලි වාර්ෂිකව පැවැත්විණි. මීට පෙර එංගලන්ත ක්‍රීඩා සමාජ දෙකක් ද මීට සමානව සිදුවීමක නිරත විය. මේවා ප්‍රකට කතා පුවත්ය. මෙය ශ්‍රී ලංකාවේ ඉරිදා (19) අවසන් වූ තරගයට සමාන කිරීමට උත්සහ දරන අප සාමාජිකයා එමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අපහසුතාවයකට පත් කිරීමට ද උත්සහ දරන බව පෙනේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අභාවප්‍රාප්ත වූ බව සඳහන් කරමින් සතුටක් ලැබීමට තරම් ඉතාමත් අතලොස්සක් කටයුතු කිරීම කණගාටුවට කරුණකි. පරාජය ලැබීමට කිසිවෙකු කැමති නැත. එසේම ජය පරාජය දෙකටම අප මුහුණදීමට කුඩා කළ සිටම පාසල් වියේ දී ම පුරුදු විය යුතුය. එය මහත්මා ගතිගුණයකි. බංග්ලදේශයේ ක්‍රිකට් නැංවීමට ශ්‍රී ලංකාව තරම් අතහිත දෙන රටක් නොමැති බව බංග්ලදේශයම පවසයි. ඔවුන් ජයග්‍රහන ලබන විට අප සතුටු විය යුතු නොවේ ද?
උඩපන්දු අතහැරීම් දුවද්දී දවා ගැනීමට තිබු අවස්ථා මගහරවා ගැනීමට ලංකා දෙවන ඉනිමේ මැදපෙළ පිතිකරුවන් තිදෙනෙකුම ළඟ ළඟම දැවීයාම වැනි දුර්වලතා අප ඉදිරියේ දී සකසා ගත යුතුව තිබේ. දීර්ඝ විශ්ලේෂණය මගින් නිවැරදි මාර්ගයට පිවිසිය හැකිය. ශ්‍රී ලංකාව අතීතයේ දී ඕනෑතරම් ලොව සියලුම ටෙස්ට් කණ්ඩායම් පරාජය කර තිබේ. එහෙත් එම රටවල ක්‍රිකට් ක්‍රීඩාව අභාවප්‍රාප්ත වූ බව කිසිවෙකු ප්‍රකාශ කළේ නැත.
වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෑතක දී ඕස්ට්‍රේලියාව 3-0කින් ද සිම්බාබ්වේ 2-0කින් ද පරාජය කළේය. පසුව 20-20 තරගවල දී එතෙර දී දකුණු අප්‍රිකාවන් ඕස්ට්‍රේලියාවත් පැරදවීය. මෙහි දී ටෙස්ට් තරගයක් පමණක් පරාජය වූ පමණින් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය යැයි කීම පිළිගත හැකිවේද? ලත් පරාජය ඉදිරි තරග ජය ගැනීමට ආශිර්වාදයක් කර ගැනීම අපගේ පරමාර්ථය කර ගැනීම හොඳම ක්‍රියාමාර්ගයයි.
අපගේ තරුණ හා ලාබාල ක්‍රීඩකයන් රැසක්ම අද ලංකාපිල නියෝජනය කරමින් සිටිති. ඔවුනගේ දස්කම් ලොවම දනිති. කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා මීට නිදසුන්ය. මෙන්ඩිස් ගාල්ලේ දී ලකුණු 194ක් ලැබීම සති දෙකකින් අමතක කිරීමට නුපුළුවන. අපගේ අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් එංගලන්තයේ දී හා ඕස්ට්‍රේලියාවේ දී එම රටවල් එහි දී ම පරාජයට පත් කළේය. මොවුනට දීර්ඝ සුභ අනාගතයක් ඇත. නරක සිතිවිලි පහළව ලීවත් අප ආරක්ෂා කරගත යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. එය කිසිවෙකුට විනාශ කළ නොහැකිය. බාධා පමුණුවමින් අසාර්ථක උත්සහයන් හි නිරතවන්නන් සිදු කරන්නේ තරුණ ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළිමකි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-