2018 බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානයට ක්‍රිකට් ආයතනයේ ආධාර
2018 වසරේ බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ. බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු ඊයේ (31) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මුණගැසී තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. ක්‍රිකට් සභාපතිතුමා ඊට තම ආශිර්වාදයත් තරගාවලිය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව හා එය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳවත් උපදෙස් ද ඔවුනට ලබාදුන්නේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ දිස්ත්‍රික්ක හා පළාත් ම්ට්ටමේ ක්‍රීඩාංගණ පුහුණුවටත් ඒවායේ පහසුකම් පරිහරණයටත් මොවුනට ලබාදෙන මෙන් ක්‍රිකට් සභාපතිතුමා අදාළ නිලධාරීනට මේ අවස්ථාවේ දී ම උපදෙස් ලබාදුන්නේ ය.
සාකච්ඡාවේ මූලික වටයේ දී තීරණය කෙරුණේ 2018 මැයි – අගෝස්තු මාසවල දී මොරටුව කෝල්ට්ස් සහ බී. ආර්. සී. ක්‍රීඩාංගණ වල මූලික තරග පවත්වා අවසාන තරගය එස්. එස්. සී. පිටියේ දී පැවැත්විය යුතුය යන්නය. තරගාවලියට පෙර ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රීඩකයනට එහි දී පුහුණුව ලබාදීමට පියවර ගන්නා මෙන් ක්‍රීඩාංගණ භාර නිලධාරී ගොඩ්ෆ්‍රී දාබරේටත් පළාත් සංගම් භාර නිලධාරි කමල් ධර්මසිරිටත් ක්‍රිකට් සභාපතිතුමා එහි දී උපදෙස් ලබාදුන්නේ ය.
ශ්‍රී ලංකා බිහිරි ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ඉන්දියාවේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරයන් වූ අතර, තාරක සම්පත් ලංකා කණ්ඩායම් නායකත්වය දැරීය. ශ්‍රී ලංකාව මූලික වටයේ දී නේපාලය හා බංග්ලාදේශය පරාජය කළ අතර, අවසාන තරගයේ දී ඉන්දියාවට පරාජය විය. මේ සංචාරය සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් “ඒඩ්” වැඩසටහනින් ලක්ෂ දහයක මුදල් ආධාරයක් පිරිනැමීය. ඉදිරි ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රිකට් ඒඩ් වැඩසටහනෙන් මුදල් ලබාදෙන බව මෙහි දී ක්‍රිකට් සභාපතිතුමා පැවසීය.
මොවුනට කතාබහ කිරීමේ යම් අඩුපාඩු තිබුනත් ඔවුන් අප සමාජයේ ජීවත්වන අප හා සමාන සහෝදර සාමාජිකයන් පිරිසකි. කතාබහ කිරීමට අපහසු වුවත් ඔවුන් තම අදහස් පළ කිරීමට ඉමහත් වෙහෙසක් අතින් හා ඉරියව් මගින් පෙන්වීමට උත්සාහ දරයි. මෙය සමාජයේ අනෙක් අයටත් හොඳ පාඩමක් යැයි ද ක්‍රිකට් සභාපතිතුමා මෙහි දී ප්‍රකාශ කළේ ය.
බිහිරි ක්‍රිකට් ක්‍රීඩක සංගමයේ සභාපති මොහමඩ් නයිසර් සම සභාපතිනිය අනුලා රංජනී ලේකම් හේමජිත් වජිරකුමාර පුහුණුකරු ෆ්ලෙවින් අපොන්සු හා බිහිරි ක්‍රිකට් ක්‍රීඩක කණ්ඩායම ද මේ අවස්ථාවට සහභාගී වූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-