ජනාධිපතිතුමා ජයග්‍රාහී ක්‍රිකට් ක්‍රීඩකයනට උපහාර පුදති
ක්‍රිකට් ක්‍රීඩාවේ 2016 – 2017 වසරවල දස්කම් දැක් වූ ක්‍රීඩකයනට උපහාර හා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. ජනාධිපතිතුමා එහි දී ක්‍රිකට් ක්‍රීඩකයන් ඔවුනගේ බිරින්දෑවරුන් හා දෙමාපියන් පෞද්ගලිකවම වෙන වෙනම මුණ ගැසී කතාබහ කරමින් සුවදුක් විමසා ඔවුනට සුබ පැතුම් පිරිනැමීය.
2016 – 2017 කාලය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණවල දී ලත් කුසලාන හා තිළිණ සමග ක්‍රීඩා කණ්ඩායම් ඒකරාශි කරගෙන ජනාධිපතිතුමා මෙහි දී සමූහ ඡායාරූපයන්ට ද පෙනී සිටීම විශේෂත්වයකි.
මෙදින ජනාධිපතිතුමන් හමු වූයේ ගිය වසරේ ටෙස්ට් තරග 3 – 0 කින් ඕස්ට්‍රේලියාව මෙහි දී පරාජය කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේ දී ටෙස්ට් තරග දෙක සහ තුන්කොන් එක්දින තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ දකුණු අප්‍රිකාවේ හා ඕස්ට්‍රේලියාවේ 20 – 20 තරගාවලියන් දෙක ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම් සහ එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේදීත් ජයග්‍රහණ රැසක් අත්කරගත් ලංකා 19න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෝය. එම තරගාවලියන් හි දී ලංකා ක්‍රීඩකයන් පෑ දස්කම් සහිත වීඩියෝ පටයක් ද මෙහි දී ජනාධිපතිතුමා විසින් නරඹන ලදී.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂාරියා ඛාන් බංග්ලදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. හසන් යන මහත්වරු හා එම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගිව සිටියහ.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු වීමට දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම අද දොරටුව ඉදිරිපිට සිටින අතරම ක්‍රීඩකයන් අභියෝග රැසකට මුහුණ පා සිටින බව තමා දන්නා බව ද කීවේය. ජය පරාජයන් පිළිබඳ ව අදහස් දැක් වූ අමාත්‍යවරයා දිනන කොට අත්පුඩි ගැසීමත් පරදින කොට බැනීමත් දැන් අප රටට හුරුව තිබෙන ක්‍රමයක් බව ද කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ කතාව පවත්වමින් මෑත කාලය තුල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල සංවර්ධනයක් ඇතිව තිබෙන අතරම තරුණයන් විශාල පිරිසකට ජාතික මට්ටමේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව උදාව ඇතැයි ද කීවේය.
ඇන්ජිලෝ මැතිව්ස් මෙහි දී ස්තූති කතාව පැවැත්වීය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් කලමනාකරුවන් හා සහය නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-