කපුගෙදර කළකට පසු ඕවර 50 සූරයන්ගේ තරගාවලියට
එංගලන්තයේ දී ජුනි මස 1- 18 දක්වා පැවැත්වෙන සූරයන්ගේ කුසලාන (චැම්පියන් කුසලාන) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කළකට පසුව චාමර කපුගෙදර නැවත කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායමට නායකත්වය දෙන චාමර කපුගෙදර ශතක දෙකක් සමග සෑම තරගයක දී ම ලකුණු අතර සිටීමට සමත් වූ පිතිකරුවෙකි. කළක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ කපුගෙදරට මෑතක සිට තෝරාගනු ලැබුවේ 20 -20 තරග සඳහා පමණෙකි. සිමිත ඕවර 50 අන්තර් පළාත් තරගාවලියේ දී කපුගෙදර පෑ විශේෂ දස්කම් මත ඔහුට එංගලන්තයේ හා වේල්ස් හි පැවැත්වෙන සීමිත 50 සුරයන්ගේ කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
අන්තර් පළාත් තරගාවලියේ දී ලකුණු අතර සිටී උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ද කණ්ඩායමට එක් ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජිලෝ මැතිව්ස් ද උපනායකත්වයට උපුල් තරංග ද නම් කර ඇත. කණ්ඩායමේ සෙසු පිතිකරුවන් වන්නේ නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න සහ තිසර පෙරේරා ය. දික්වැල්ල, මෙන්ඩිස් හෝ කුසල් ජනිත් කඩුලු රකින්නා ලෙස ක්‍රියා කරයි. ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප් හා නුවන් කුලසේකර වේගපන්දු යවන්නන් ලෙසත් කණ්ඩායමට එක් වෙති. තුන් ඉරියව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයන් ලෙස එක් ව ඇත්තේ තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්නය.
ක්‍රීඩකයන් 15කුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 18 වැනිදා එංගන්තය බලා පිටත් වෙති. වේගපන්දු යවන ලසිත් මාලිංග සංචාරයට සහභාගි වීමට තරම් යෝග්‍යතාවයකින් පසු නොවූවහොත් විකුම් සංජය ඔහුගේ ස්ථානය ගනු ඇත. අතිරේක ක්‍රීඩකයන් ලෙස දිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක නම් කර ඇත. මීට අමතරව තවත් ක්‍රීඩකයන් පස් දෙනෙකු අතිරේකව නම් කර ඇති අතර, ඔවුන් කොළඹ පුහුණුවීම්වල දී ජාතික කණ්ඩායම හා එක්වන අතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධවලට ලක්වුවහොත් ඔවුන් එම ස්ථාන ගනු ඇත. එම ක්‍රීඩකයන් පස්දෙනාවන්ගේ විකුම් සංජය, ළහිරු කුමාර, සචිත් පතිරණ, මිලින් ද සිරිවර්ධන හා අකිල ධනංජයයි. සියලු ක්‍රීඩකයන් සමග ලංකා සංචිතය 22කි. සංචාරයට එක්වන්නේ ජාතික කණ්ඩායමේ පහළොස් දෙනා පමණි. පසු ගියදා පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගවලට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරින් ස්ථානයක් හිමිව නැත්තේ ධනංජය ද සිල්වා ක්‍රීඩකයාට පමණෙකි.
අයි. සී. සී. චැම්පියන් කුසලාන තරගාවලියේ පැවැත්වෙන තරග සංඛ්‍යාව 15කි. මේ තරග පැවැත්වෙනුයේ නගර තුනකය එඩ්ග්බැස්ටන් හි (බර්මින්හැම්) තරග පහක් ද ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ තරග හයක් ද කාඩිෆ්හි තරග හතරක් ද පැවැත්වීමට නියමිතය. අවසාන තරගය ජුනි මස 18 වන ඉරුදින ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අයහපත් කාලගුණය මත එදින තරගය නොපැවැත්වුවහොත් පසුදින (19) අතිරේක දිනයේ තරගය පැවැත් වේ. සහභාගි වන කණ්ඩායම් අට කොටස් දෙකකට බෙදා ඇත. ‘ඒ’ කොටසට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශයත් ‘බී’ කොටසට ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානයත් අයත් වේ.
ලංකා ජාතික කණ්ඩායම මැයි 9 වැනිදා මහනුවර බලාපිටත් වන අතර, දින හයක කාලයක් ඔවුන් නේවාසිකව පුහුණුවක් ලැබීමට නියමිතය. මැයි 18 වැනිදා එංගලන්තය බලා පිටත්වන ලංකා කණ්ඩායම මැයි 21 සහ මැයි 23 එක්දින පුහුණු තරග දෙකකට සහභාගි වෙති. ලංකා පිල අයි. සී. සී. චැම්පියන් කුසලාන තරගාවලියට එක්වන්නේ මැයි 24 වැනිදාය. ලංකා කණ්ඩායම මැයි 26 ඕස්ට්‍රේලියාව සමගත් මැයි 30 නවසීලන්තය සමගත් තවත් පුහුණු තරග දෙකකට සහභාගි වේ. ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය ජුනි 3 දා දකුණු අප්‍රිකාව සමගිනි.
තරග කාල සටහන
මැයි 18 වැනිදා – ශ්‍රී ලංකාව එංගලන්තය බලා පිටත්ව යාම
මැයි 21 ප්‍රථම පුහුණු තරගය ස්කොට්ලන්තය සමග කෙන්ට්හි දී
මැයි 23 දෙවන පුහුණු තරගය ස්කොට්ලන්තය සමග කෙන්ට්හි දී
මැයි 26 ඕස්ට්‍රේලියාව සමග පුහුණු තරගය ඕවල් හි දී
මැයි 30 නවසීලන්තය සමග පුහුණු තරගය බර්මින්හැම්
ජුනි 1 – එංගලන්තය – බංග්ලදේශය – ඕවල්
ජුනි 2 – නවසීලන්තය – ඕස්ට්‍රේලියා – බර්මින්හැම්
ජුනි 3 – ශ්‍රී ලංකාව – දකුණු අපිකාව – ඕවල්
ජුනි 4 – ඉන්දියාව – පාකිස්තානය – බර්මින්හැම්
ජුනි 5 – ඕස්ට්‍රේලියා – බංග්ලදේශය – ඕවල්
ජුනි 6 – එංගලන්තය – නවසීලන්තය – කාඩිෆ්
ජුනි 7 – පාකිස්තානය – දකුණු අප්‍රිකාව – බර්මින්හැම්
ජුනි 8 – ඉන්දියාව – ශ්‍රී ලංකාව – ඕවල්
ජුනි 9 – නවසීලන්තය – බංග්ලදේශය – කාඩිෆ්
ජුනි 10 – එංගලන්තය – ඕස්ට්‍රේලියාව – බර්මින්හැම්
ජුනි 11 – ඉන්දියාව – දකුණු අප්‍රිකාව – ඕවල්
ජුනි 12 – ශ්‍රී ලංකාව – පාකිස්තානය – කාඩිෆ්
ජුනි 14 – ප්‍රථම අවසාන පූර්ව තරගය (ඒ කොටසේ 1 හා බී කොටසේ 2) කාඩිෆ්
ජුනි 15 – දෙවන අවසාන පූර්ව තරගය (ඒ කොටසේ 2 හා බී කොටසේ 1) බර්මින්හැම්
ජුනි 18 – අවසාන තරගය ඕවල් ක්‍රීඩාංගණය
ශ්‍රී ලංකා කණ්ඩායම – ඇන්ජිලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උපනායක) නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සීක්කුගේ පුසන්න
අතිරේක – දිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, විකුම් සංජය, ළහිරු කුමාර, සචිත් පතිරණ, මිලින්ද සිරිවර්ධන, අකිල සංජය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-