පල්ලේකැලේ ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවර පල්ලේකැලේ ඉදිවන ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ පළමු අදියර ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම නොබෝදා සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණුව ලැබිය හැකි දැල් ආවරණ සහිත පැති විකට්ටු තොරතුරු තාක්ෂණ පහසුකම් ආදිය මෙදින විවෘත කළ පහසුකම් අතර විය.
පල්ලේකැලේ ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කිරීමට පෙර එංගලන්තයේ චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත්වලට සහභාගි වී ආශිර්වාද ලබාගත්හ. අනාගතයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මෙරට ක්‍රීඩකයනට මේ මධ්‍යස්ථානය තෝතැන්නක් වනු ඇතැයි කී සුමතිපාල මහතා මෙවැනි තවත් මධ්‍යස්ථාන තුනක් මේ වසර තුළ දී දඹුල්ල, ගාල්ල සහ මාලිගාවත්තේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ගොඩනැගෙනු ඇතැයි ද කීවේ ය.
දැල් ආවරණ සහිත විකට්ටු තොරතුරු තාක්ෂණ පහසුකම් විදුලි ආලෝකය මධ්‍යයේ එළිමහන් හා ගෘහස්ථ පුහුණු පහසුකම් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය (ජිම්) පිහිනුම් තටාක, නවාතැන් පහසුකම් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සියලු පහසුකම් මේ මධ්‍යස්ථානවල ඉදිවන අතර, අවුරුදු 15න් පහළ 17න් පහළ 19න් පහළ 23න් පහළ වයස් ඛාණ්ඩවල ක්‍රීඩකයන්ටත් අන්තර් පළාත් තරගාවලියන්ට සහභාගි වන ක්‍රීඩකයන්ට මේ මධ්‍යස්ථානයන්ගෙන් මහගු ප්‍රයෝජනගත හැකියැයි ද සුමතිපාල මහතා මෙහි දී සඳහන් කළේ ය.
ජූනි 1-18 දක්වා එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 ඇතුළත් 23 කගේ සංචිතයේ ක්‍රීඩකයන් මේ මස 9 සිට 15 දක්වා පල්ලේකැලේ ක්‍රීඩංගණයේ දී පුහුණුව ලැබීමට නියමිතය. ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීමට රුපියල් මිලියන 120ක් අවශ්‍ය වූවත් එය මිලියන 35කින් නිමකළ අතර ඉතිරි මුදල් අංග සම්පූර්ණ පිහිනුම් තටාකය ඉදිකිරීමටත් අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීමටත් යොදවන බව ද සඳහන් කළ සුමතිපාල මහතා අයහපත් කාලගුණය පවතින අවස්ථාවල හා රාත්‍රී කාලයේ දීත් ගෘහස්ථ පුහුණුවීම් යෙදීමට දැන් ක්‍රීඩකයනට අවස්ථාව උදාවී ඇතැයි ද කීවේය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට බලවත් අඩුපාඩුවක්ව තිබූ මෙවැනි මධ්‍යස්ථාන ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගැනීම පිළිබඳව තම ස්තූතිය පළ කළේය. දැනට මෙහි ශාරීරික අභ්‍යාස (ජිම්) මධ්‍යස්ථානයක් පිහිටුවා නැහැ. එය ද ඇතුළත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. පිට පළාත්වල හා දුෂ්කර ප්‍රදේශවල ක්‍රීඩකයනට මෙහි නේවාසිකව සියලු පහසුකම් බුක්ති විඳීමට අවස්ථාව සැලසීම පිළිබඳව මා විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයට කෘතඥවනවා.
මෙහි තවත් විශේෂත්වයක් ලෙස මා දකින්නේ වෙනදා නොලැබුණු කුඩා වයස් සීමාවල ක්‍රීඩකයන්ට පවා මෙයින් ප්‍රයෝජනගැනීමට අවස්ථාව ලබාදීම යැයි ද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
හයිපර්ෆෝමන්සස් (උසස් දක්ෂතා) කළමණාකරු සයිමන් විල්ස් මහතා අදහස් දක්වමින් දුෂ්කරම පළාතක සිටින පහසුකම් නොමැති ක්‍රීඩකයනට පවා මේ මධ්‍යස්ථානය උපයෝගී කරගනිමින් ජාත්‍යන්තර තත්ත්වයට පත්විය හැකියි. ශ්‍රී ලංකාවට මෙවැනි මධ්‍යස්ථානයක දැඩි අවශ්‍යතාවයක් ඇති බව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතායි. මෙය සාර්ථක කරගැනීමට කැපවී ක්‍රියාකළ සියලුම නිලධාරීනට අප ස්තූතිවන්ත වනවා. ක්‍රීඩකයනට මෙහි උපරිම ප්‍රයෝජන ගැනීමට අප සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඇදිරි කාලගුණය පවතින අවස්ථාවල මෙහි පුහුණුව ලැබිය නොහැකි තත්ත්වයක අඩුපාඩු තිබූ බවත් දැන් එය විසැදී ඇති බවත් විල්ස් මහතා කීය.
පිට පළාත්වල කණ්ඩායම් හා විදේශ කණ්ඩායම් තරගාවලියන්ට පෙර මෙහි පුහුණුව ලැබීමට පැමිණෙන බව කී සයිමන් විල්ස් මහතා විවිධ මාදිලිවල විශාල පිරිසකටත් ක්‍රීඩිකාවන්ට මෙන්ම ආබාධයට ලක්ව නැවත පුනුරුත්ථාපනය වන ක්‍රීඩකයනට ද මෙහි දී විපුල ප්‍රයෝජන ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.
-බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-