බලාපොරොත්තු රැසක් ඇතිව ලංකා කණ්ඩායම එංගලන්තයට
2017 එංගලන්තයේ චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බ්‍රහස්පතින්දා (18) දිවයිනෙන් පිටත් ව යති. ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්ට් ප්‍රාන්තයේ දී පුහුණු තරග දෙකකට සහභාගිවන්නේ මේ මස 21 හා 23 වන දිනවල දී ය.
ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම පසුගිය සතිය පුරා මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රධාන පුහුණුකරු ග්රැහැම්ෆෝඩ් හා සෙසු පුහුණුකරුවන් යටතේ මනා පුහුණුවක් ලැබීය.
දක්ෂ පළපුරුදු හා කැපවීමකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පුරාම ප්‍රතිවාදීනට ප්‍රබල සටනක් දී ජයග්‍රහණ අත්කරගන්නවාට සැකයක් නොමැත. මැතිව්ස්ගේ පළපුරුදු නායකත්වයෙන් හා උපුල් තරංගගේ උප නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් හා සීක්කුගේ ප්‍රසන්න යන ප්‍රබල ක්‍රීඩකයෝ අයත්වෙති. දිල්රුවන් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක එක්වන්නේ අතිරේක ක්‍රීඩකයන් ලෙසිනි.
පසුගිය දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම කැපවීමකින් යුතුව පුහුණු වූ ආකාරය පිළිබඳ ව වේගපන්දු යවන පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්, ප්‍රසාද මුඛයෙන් කතා කළේය. පසුගිය දින 10 – 15 කාලය තුළ ලංකා ක්‍රීඩකයන් පුහුණුවීමේ දී කැපවීමකින් පෙන්වූ දක්ෂ ක්‍රීඩා විලාශයක් විශිෂ්ටයි. මීට වඩා දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකියි. ක්‍රීඩකයනට කුසලතා තවත් ඔපමට්ටම් කර ගැනීමටත් ඉදිරි දින කිහිපයේ පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවන් ද තවත් ශක්තිමත් කිරීමක් සිදු වේවි. දැන් අපට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාව සාඩම්බරයට පත් කිරීම පමණකැයි ඇලන් ඩොනල්ඩ් ප්‍රකාශ කරයි.
ඕවල් ක්‍රීඩාංගණයේ ජුනි 3 වැනිදා දකුණු අප්‍රිකාව සමග ප්‍රථම එක්දින තරගයට සහභාගි වීමට පෙර ලංකා පිල නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව සමග මැයි 26 හා 30 දිනවල පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. මෙම චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙවැනි වන්නේ ජගත් ක්‍රිකට් සමුළුවේ ලෝක කුසලාන තරගාවලියට පමණකි.
2002 වසරේ ශ්‍රී ලංකාව මේ තරගාවලිය මෙරට දී සංවිධානය කර අවසාන මහා තරගයේ දී අයහපත් කාලගුණය මත ඉන්දියාව සමග සම සූරයන් වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිණි. එම අවසාන තරගය නැරඹීමට 35,000ක වාර්තාගත ක්‍රීඩා ලෝලීන් පැමිණි අතර, අදත් මේ තරගාලියේ වාර්තාවන් රැසක්ම ශ්‍රී ලංකාව සතුව තිබීම විශේෂත්වයකි.
පසුගිය සති දෙකක කාලය තුළ දැඩි කැපවීමකින් යුතුව පුහුණුව ලබා දක්ෂතම ක්‍රීඩකයන් පසළොස් දෙනෙකු දැන් මා සතුව සිටිනවා. මේ තත්ත්වය පිළිබඳ ව මා පසු වන්නේ දැඩි සතුටකිනි. අප දැන් කළ යුතුව ඇත්තේ එහි ගොස් අපගේ උපරිමය පෙන්වීම පමණකැයි ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසයි.
එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ අමතර සතියක පුහුණුව හා පුහුණු තරග දෙක අපට වැඩි වාසි ගෙන දෙනවා. මෙය සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපගේ ප්‍රණාමය හිමි විය යුතු යි. මේ වැදගත් තරගාවලියට සූදානම් වීමට සියලු පහසුකම් හා අවස්ථාවන් සැපයිම පිළිබඳව ද ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන්නේ යැයි ඇන්ජිලෝ මැතිව්ස් පවසයි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-