ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගය පහසුවෙන් ම ජය ගනී
චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගි වීමට එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමග පැවැති දෙවැනි පුහුණු කරගයේ දී කඩුලු 9ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් ඕවර 27.1 ක් ඉතිරිව තිබියදීය.
මෙදින මුලින් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය ඕවර 43ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 167ක් පමණකි. ශ්‍රීලංකාව ඕවර 22.1ක දී ලකුණු 170ක් ලැබුවේ පිතිකරුවෙකු පමණක් දැවීයාමෙනි.
ස්කොට්ලන්තය ඉනිම විනාශ කිරීමට මුල් වූ පන්දු යවන්නා වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 39කට කඩුලු 4ක්ම බිඳ දැමීය. සීක්කුගේ ප්‍රසන්න ලකුණු 28කට කඩුලු 2ක් ද නුවන් කුලසේකර ලකුණු 23ක ට කඩුලු 2ක් ද තිසර පෙරේරා ලකුණු හයකට කඩුල්ලක් ද දවාලූහ.
ස්කොට්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් දෙදෙනා වූයේ වොලස් (46) සහ ක්රොස්ය (27).
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රබල පිතිහරඹයක යෙදුණු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් ද උපුල් තරංග නොදැවී ලකුණු 53ක් ද රැස් කළහ. කුසල් මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක නියැළමින් පන්දු 51ක ට පමණක් මුහුණ දෙමින් හතරේ පහර දහයක් හා හයේ පහර දෙකක් ද එල්ල කළේය. උපුල් තරංග පන්දු 63ක දී හතරේ හතරක් හා හයේ පහරක් ද තම ඉනිමට එක් කළේය.
ලංකා කණ්ඩායමේ දැවී ගිය එකම පිතිකරුවා වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 22ක දී හතරේ පහක් සමග ලකුණු 29ක් රැස් කළේය. චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට මැයි 25 වැනිදා වන විට එංගලන්තයටු ළඟා වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ලසිත් මාලිංග මැයි 23 වැනිදා ලන්ඩන් නුවරට පැමිණි අතර, ඔහු එහි සිට ලංකා පිලට එක්වීමට පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරග දෙක (පුහුණු තරග) මැයි 26 සහ මැයි 30 නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතය. චැම්පියන් කුසලාන තරගාවලියේ ප්‍රථම තරගය පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම එංගලන්තය හා බංග්ලදේශය අතර ජුනි මස 1 වැනිදාය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය දකුණු අප්‍රිකාව සමග 3 වැනිදා පැවැත්වේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-