දස්කම් පෑමට උපරිමය යොදවනවා – කුසල් මෙන්ඩිස්
එංගලන්තයේ දී මා තරග රැසකට සහභාගි වී ඉන් කිහිපයක දී ම දස්කම් පෙන්වා තිබෙනවා. ඒ වගේම එහි පුහුණු සැසි කිහිපයකටත් සහභාගි වී පළපුරුද්දක් ලබා සිටිනවා. එම අත්දැකීම් හා පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ දී පුහුණුකරුවන් වෙතින් ලද පුහුණුව උපයෝගි කරගෙන චැම්පියන් කුසලාන තරගාවලියේ දී උපරිම දක්ෂතා පෙන්වීමට අපේක්ෂා කරන බව කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කරයි.
මාගේ පිතිහරඹයේ යම් යම් දුර්වලතා තිබුණා. කඩුල්ලෙන් පිටතට යන පන්දුවලට පහරදීමට උත්සහ ගැනීම, හිසට ඉහළින් එන බවුන්සර් පන්දුවලට හරවා පහර එල්ල කිරීම වැනි දුර්වලතාවයන් ප්‍රධාන පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් සහ වේගපන්දු පුහුණු උපදේශක ඇලන් ඩොනල්ඩ්ගේ උපදෙස් මත දැන් තමා වෙනස් කරගෙන සිටින්නේ යැයි ද කුසල් මෙන්ඩිස් කියයි.
මේ පිළිබඳ ව කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණයේ යම් යම් දුර්වලතා තිබුණා. පසුගිය සති 2-3 කාලය තුළ දී අප ඒවා නිවැරදි කළා. එපමණක් නොව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ම සුළු අඩුපාඩු අප නිවැරදි කළා. ඉදිරියේ දී ඒවා බලාගත හැකිවේවි යැයි අසංක ගුරුසිංහ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරුගේ ස්ථානයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් විශේෂයෙන්ම ටෙස්ට් තරගවල දී දස්කම් දක්වා සිටින පිතිකරුවෙකි. ගිය වසරේ (2016) ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රථම ටෙස්ට් තරගයේ දී ලකුණු 176ක් ද මේ වසරේ මාර්තු මස බංග්ලදේශය සමග ගාල්ලේ දී ප්‍රථම ටෙස්ට් තරගයේ දී ලකුණු 194ක් ද ලබා තරුණවියේ දී ම ද්විත්ව ශතක අසළටම පැමිණියේය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම 2016 වසරේ එංගලන්තයේ තරග කළ අවස්ථාවේ අංක 3 පිතිකරු ලෙස එක්දින තරග පහේ දී ඔහු ඉනිමක සාමාන්‍ය ලකුණු 33.8ක් ලබා සිටියේ ය. එම එක්දින තරගාවලියේ දී ට්‍රෙන්ට් බ්‍රිජ්හි ප්‍රථම තරගයේ ලකුණු 17ක් ද එඩ්බැස්ටන් හි දෙවන තරගයේ ලකුණු නොලබා ද බ්‍රිස්ටල් හි තෙවන තරගයේ දී පන්දු 66ක දී ලකුණු 53ක් ද ලන්ඩනයේ ඕවල්හි සිව්වන තරගයේ දී පන්දු 64ක දී ලකුණු 77ක් ද කාඩිෆ්හි පස්වන තරගයේ දී පන්දු 34ක දී ලකුණු 22ක් ද මෙන්ඩිස් ලැබීය.
කුසල් මෙන්ඩිස් 2014 ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර, 2013 වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද දිනා ගත්තේය. පසුව ඔහු 23න් පහළ ජාතික කණ්ඩායම ශ්‍රී ලංකා ‘ඒ’ නියෝජනය කළේය.
මොහුගේ අත්දැකීම පළපුරුද්ද හා දක්ෂතාවයන් 2017 චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ලංකා පිලට මහඟු ප්‍රයෝජනයක් වනු නිසැකය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-