තියුණු තරගයකින් පසු ඕස්ට්‍රේලියාවට ජය
චැම්පියන් කුසලාන තරගාවලියට සහභාගීවීමට එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා (26) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති උණුසුම් මුහුණුවරක් ගත් පුහුණු තරගයේ දී කඩුලු දෙකකින් ඕස්ට්‍රේලියාවට පරාජය වූයේ තරගය නිමවීමට පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදීය.
මුලින් පන්දුවට පහරදීමට ආරාධනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 318 ක විශාල ලකුණු සංඛ්‍යාව හඹා ගිය ඕස්ට්‍රේලියාව ඕවර 49.4 ක දී ලකුණු 319 ක් ලැබුවේ පිතිකරුවන් අට දෙනෙකු දැවී යාමෙනි. පසුගිය 18 වැනිදා එංගලන්තයට ළගා වූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු තත්ත්වයට දින අටක් තුළ ළගා වී දස්කම් පෙන්වීමට සමත්වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ සිට මාස කිහිපයක් ආබාධ මත ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි නායක ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 95ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට මුලින් හොඳ අඩිතාලමක් සකසා දීමෙන් පසු මැද පෙළ පිතිකරුවන් අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න වේග පිතිහරඹවලින් ලංකා ඉනිම වර්ණවත් කළහ.
ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිව්දෙනා නිරෝෂන් දික්වැල්ල (41) උපුල් තරංග (13) කුසල් මෙන්ඩිස් (05) හා දිනේෂ් චන්දිමාල් (17) දාහත්වන ඕවරය වන විට දැවීගොස් සිටියේ මුළු ලකුණු 92ක් පමණක් ලබා සිටියදීය. ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවූයේ පස්වන හයවන හා හත්වන කඩුලු සබඳතාවයන්ගෙනි. පස්වන කඩුල්ලට මැතිව්ස් සහ චාමර කපුගෙදර (30) ලකුණු 60 ක් ද හයවන කඩුල්ලට මැතිව්ස් සහ අසේල ගුණරත්න ලකුණු 91ක් ද හත්වන කඩුල්ලට ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්න ලකුණු 70ක් ද එක් කළහ.
නායක ඇන්ජිලෝ මැතිව්ස් පන්දු 106ක දී හයේ පහර දෙකක් හතරේ නවයක් සමග ලකුණු 95ක ට දැවීගියේ ඔහු සතුව තිබූ ශතකය පෙනි පෙනී තිබියදීය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළේ ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්නය. මොවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 70ක් රැස් කළේ පන්දු 37ක දීය. මේ සබඳතාවයෙන් ලංකා කණ්ඩායමට ලකුණු 300 සීමාව ඉක්මවීමට අවස්ථාව උදාවිණි.
ප්‍රසන්න පන්දු 19ක දී හයේ පහර තුනක් හා හතරේ පහරක් සමග ලකුණු 31ක් ලැබූ අතර, අසේල ගුණරත්න පන්දු 56ක දී ලකුණු 70ක් රැස්කළේ හයේ දෙකක් හා හතරේ අටක් සමගිනි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නාවූ මොයිසස් හෙන්රිකස් ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දවාලුවේ ලකුණු 46ක් දීමෙනි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඒරන් ෆින්ච් පන්දු 109ක දී හයේ පහර හයක් හා හතරේ 11ක් සමග ලකුණු 137ක් ද ට්‍රාවිස් හෙඩ් පන්දු 73ක දී හතරේ හතක් සමත ලකුණු 85ක් ද ලබමින් ඕස්ට්‍රේලියාට ජයග්‍රහණය කරායාමට අවස්ථාව උදාකර දුන්හ. 35වන ඕවරය වනවිට ඕස්ට්‍රේලියාව කඩුලු 3කට ලකුණු 218ක් ද ලබා ප්‍රබලම තත්ත්වයක සිටියත් 36 වන ඕවරයේ දී නුවන් ප්‍රදීප් පිට පිටම පන්දු දෙකකදී ෆින්ච් හා මැක්ස්වල් (00) දවාලීමෙන් නැවත ලංකා පිලට තරගයට අවතීර්ණවීමට අවස්ථාව උදාවිණි. ශ්‍රි ලංකාව ජයග්‍රහණය කරා යාම වලක්වාලමින් හෙඩ් ඉනිම නිමවනකතුරු නොදැවී සිටියේ ලකුණු 85ක් ලබමිනි.
ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා වූයේ නුවන් ප්‍රදීප්ගෙනි. (53ට කඩුලු 3යි) ලසිත් මාලිංගගේ ප්‍රථම ඕවර හයට ඕස්ට්‍රේලියානුවන් ලබාගත්තේ ලකුණු 20ක් පමණෙකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග පුහුණු තරගය පැවැත්වෙන්නේ මැයි 30 වැනිදා නවසීලන්තය සමගිනි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-