වර්ෂාව දැවැන්තයින් ඉවත් කරයි ද?
එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ දිනවල වර්ෂාවෙන් දැඩි ලෙස බාධා සිදුවෙමින් තිබෙන අතර, තරගාවලිය ජය ගනිතැයි අපේක්ෂා කළ දැවැන්තයන් මේ හේතුව මත තරගාවලිය ආරම්භයේදීම එළියට විසිවන තත්ත්වයකට පත්ව තිබේ. ජුනි 2 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා නවසීලන්ත තරගය ජුනි 5 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා – බංග්ලදේශ තරගය වර්ෂාව මත නතර කළ හෙයින් කුසලානය දිනනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව දැනට ලකුණු දෙකක් පමණක් ලබා පසුවන්නේ අසීරු තත්ත්වයකය. ඔවුනට තව ඉතිරිව ඇත්තේ 10 වැනිදා පැවැත්වෙන එංගලන්ත තරගය පමණෙකි.
වර්ෂාවෙන් බාධා වූ ඉන්දියා – පාකිස්තාන තරගයේ දී ඉන්දියාවට ජය අත් වූයේ ලකුණු 124කිනි. චැම්පියන් කුසලාන හිටපු සූරයන් වන ඉන්දියාව මීළඟට තරග වදින්නේ ලබන 8 වැනිදා ශ්‍රී ලංකාව සමග බර්මින්හැම්හි දී ය.
දැනට පැවැති තරග පහෙන් (5 වැනිදා වන විට) තරග තුනකටම වර්ෂාවෙන් බාධාවන් සිදු වූ අතර ඉන් වඩා අපහසු තත්ත්වයකට පත් ව සිටින්නේ ඕස්ට්‍රේලියාවය. ජුනි 2 වැනිදා පැවැති ඕස්ට්‍රේලියා – නවසීලන්ත තරගය තෙවරක්ම අයහපත් කාලගුණය මත නතර කැරුණු අතර මේ තරගයෙන් නවසීලන්තයට ජය ගැනීමට ද අවස්ථාව තිබිණි. තරග ප්‍රතිඵලය වූයේ දෙපිළිටම ලකුණු 1 – 1 බැගින් හිමි වීමය. ඕස්ට්‍රේලියාවේ දෙවන තරගය පැවැතියේ 5 වැනිදා බංග්ලදේශය සමගිනි. මෙදින ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් බංග්ලදේශ ඉනිම ලකුණු 182ක ට (ඕවර 44.3යි) සීමා කර පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපේක්ෂා කළේය. ඕස්ට්‍රේලියාව ඕවර 16ක දී පිතිකරුවකු පමණක් දැවී ලකුණු 83ක් ලබා සිටිය දී ඇද හැළුණු මහ වර්ෂාවෙන් තරගය නතර කර දෙපිලට ලකුණ (1 – 1) බැගින් පිරිනැමිණි. ඕස්ට්‍රේලියාවට තව ඕවර හතරක් මුහුණදීමට අවස්ථාව තිබුණේ නම් ඔවුනට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ජය ගැනීමට තිබිණි.
බංග්ලාදේශය දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරග වැදී ලකුණක් පමණක් ලබාසිටී. ඔවුනට සතුටු විය හැකි ප්‍රධානම කරුණ වන්නේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ප්‍රථම තරගයේ එංගලන්තය සමග ශතකයක් ද දෙවන තරගයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමග ලකුණු 95ක් ද (පන්දු 114යි හතරේ හයයි හයේ තුනයි) ලබා ගැනීමය.
වර්ෂාවෙන් බාධා වූ අනෙක් තරගය වූ ඉන්දියා – පාකිස්තාන තරගයෙන් ඉන්දියාව 124කින් ජය ගත්තේ වර්ෂාව මත තරගය දෙවරක් නතර කිරීමෙන් පසුවය.
ඉන්දියාව අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පාකිස්තානයට තිබූ අවස්ථාව ඔවුන් මග හරවා ගත්තේ දුර්වල පන්දු රැකීම හමුවේය. ඉන්දියාව ඕවර 48ක දී කඩුලු 3ක ට ලකුණු 319ක් ලැබූ අතර පාකිස්තානයට ඕවර 33.4ක දී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ 164කි. නොදැවී ලකුණු 81ක් ලැබු නායක විරාට් කෝලි සහ අර්ධ ශතකයක් ලැබූ යුවරාජ් සිං (53) අඩු ලකුණු සංඛාවල සිටිය දී දුන් පහසු උඩ පන්දු පාකිස්තානුවන් බිම අත හැරීමෙන් ඔවුනට එයට වන්දි ගෙවීමට සිදු වූයේ විශාල පරාජයකට ලක් වීමෙනි. යුවරාජ් සිං අයි. සී. සී. තරගාවලියන් හි දක්වන සුවිශේෂි දක්ෂතා මෙවර ද ඉස්මතු වීම විශේෂත්වයකි.
චැම්පියන් කුසලානය වැනි ජගත් ක්‍රිකට් සමුළුව සංවිධානය කරන විශාල මුදල් ප්‍රමාණයන් වැය වන ලොව දක්ෂම කණ්ඩායම් අට සහභාගි වන තරගාවලි සුදුස්සන්ට ජය ලැබෙන පරිදි යහපත් දේශගුණික වාතාවරණයක් පවතින කාලයන් හි සංවිධානය කිරීම වැදගත්ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය 3 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැති අතර, දෙවන තරගය 8 වැනිදා ඉන්දියාව සමග ඕවල් ක්‍රීඩාංගණයේත් මූලික වටයේ අවසාන තරගය ජුනි 12 වැනිදා කාඩිෆ්හි පාකිස්තානය සමගත් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව ජුනි 14 වැනිදා ප්‍රථම අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් මේ තරග දෙකේ දී සුවිශේෂි දස්කම් පෙන්විය යුතු වේ. දකුණු අප්‍රිකාව සමග ප්‍රථම තරගයේ දී ලොව අංක 1ට ශ්‍රේණිගතව සිටින එමෙන් ම අපරාජිත කණ්ඩායමක් වන දකුණු අප්‍රිකානුවන් ලකුණු 299ක ට සීමා කර ගැනීමට සමත් වීම ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණයකි. ලංකා මැද පෙළ පිතිකරුවන් මීට වඩා සුපරික්ෂාකාරී වුවානම් මේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට අවස්ථාව තිබිණි.
තරගාවලිය ආරම්භයට පෙර ප්‍රබල ස්ථානයක සිටි බංග්ලදේශයට දැනට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග තරග වැදී හිමිව ඇත්තේ ලකුණක් පමණෙකි. බංග්ලදේශය සිකුරාදා (9) කාඩිෆ්හි නවසීලන්තය සමග තරග වදී. එයින් බංග්ලදේශයට ජය ගැනීමට අවස්ථාව නොලැබුණහොත් මූලික වටයෙන් ම ඔවුනට ඉවත් වීමට සිදු වේ. දැනට මූලික වටයෙන් ම ඉවත් වීමේ අවදානමෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාව හා බංග්ලදේශයයි. ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයට යාමට නම් ඉන්දියාව හා පාකිස්තානය සමග ජයගත යුතු වේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-