ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ඉන්දියාව පරාජය කළ යුතුයි
ඕවල් ක්‍රීඩාංගණයේ දී ජූනි මස 8 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් අවශ්‍ය වන්නේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමේ අපේක්ෂාව සඵල කර ගැනීමටය.
දකුණු අප්‍රිකාව සමග තරගයේදී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් උපුල් තරංගට මූලික වටයේ ඉතිරි තරග දෙකම තහනම් වූයේ නියමිත වේලාවට වඩා මිනිත්තු 37ක් ඉනිම නිම කිරීමට කල්ගත කිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට සියයට සියයක යෝග්‍යතාවයක සිටියත් පන්දු යැවීම පිළිබඳ ව පසුවන්නේ අවිනිශ්චිත තත්ත්වයකිනි. මැතිව්ස් ලංකා කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවා වන අතර, ඔහු සෙසු ප්‍රබල පිතිකරුවන් සමග එක් ව ඉන්දියාවට එරෙහි ව විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.
තිසර පෙරේරා සහ සීක්කුගේ ප්‍රසන්න ලංකා කණ්ඩායමේ සිව්වන හා පස්වන පන්දු යවන්නන් ලෙස යෙදවීමට අපේක්ෂා කරයි. ඉන්දියාව ද රවිචන්ද්‍රන් අස්වින් ශ්‍රී ලංකාව සමග ගැටුමට යෙදවීමට බලාපොරොත්තුව සිටී. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමග තරගයේ ප්‍රථම ඕවර දහයේ දී ප්‍රතිවාදීන් ලකුණු 32ක ට සීමා කළත් කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වීම එම තරගයේ අසාර්ථකත්වයට හේතුවක් විය. ඉන්දියාවේ ප්‍රබලම හා ප්‍රවීනම ආරම්භක පිතිකරුවන් දෙදෙනා රෝහිට් ෂර්මා සහ ෂිකර් ධවාන් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට යැවීමට ලංකා වේගපන්දු යවන්නන් සමත්ව, දක්ෂ පන්දු රැකීමකින් නායක කෝලි හා යුවරාජ් සිං මෙල්ල කරගතහොත් ලංකා පිලට අනපේක්ෂිත ජයක් කරා යාමට අවකාශ තිබේ.
පෞද්ගලික මට්ටමින් විශේෂ දක්ෂතා දක්වන තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනකුගෙන් ම ලංකා කණ්ඩායම සමන්විතය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල නායක මැතිව්ස්, මාලිංග හා නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර මට්ටමේ පසු වුවත් ප්‍රබල ඉන්දියානුවන් පරාජය කිරීමට නම් ලංකා කණ්ඩායම ඒකකයක් වශයෙන් ඉන්දියානුවන් අභිබවා ගොස් ජයගත යුතු වේ. පාකිස්තානය පහසුවෙන් ලකුණු 124කින් පරාජය කර සිටින ඉන්දියාව ශ්‍රී ලංකාව සමග තරගයට ඉදිරිපත් වන්නේ පහසු මානසිකත්ව පසුබිමක් යටතේය.
චැම්පියන් කුසලාන හිටපු සූරයන් වන ඉන්දියාව මෙවර අවසාන පූර්ව තරගයට යාමට අවශ්‍යවන්නේ මූලික වටයේ ඉතිරි තරග දෙකෙන් ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව පරාජය කිරීමය. ශ්‍රී ලංකාවට ඉන්දියාව පැරැදවීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් අවසාන පුර්ව තරගයට යාමට පාකිස්තානය (12 වැනිදා) පැරැදවීමට එතරම් අපහසු කාර්යයක් නොවේ.
මේ අතර 2017 චැම්පියන් කුසලාන තරගාවලියේ අවසාන පූර්ව තරගයට තේරුණු ප්‍රථම කණ්ඩායම බවට පත්වීමට සත්කාරක එංගලන්තය අගහරුවාදා (06) සමත් විය. එංගලන්තය එම අවස්ථාව උදාකර ගත්තේ ලකුණු 87කින් නවසීලන්තය පරාජයටපත් කරමිනි.
එංගලන්තය ඕවර 49.9 දී 310 යි. නවසීලන්තය ඕවර 44.3 දී 223යි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-