ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව සුවිශේෂි ජයග්‍රහණයක්
චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු හතකින් ඉන්දියාව පරදා දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගනිමින් කුසලානය පිළිබඳව නැවුම් බලාපොරොත්තු ඇති කළේ තරගාවලියේ පෙරැළියක් සිදු කරමිනි.
ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 321ක හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 48.4 දී කඩුලු තුනකට ලකුණු 322ක් ලබමින් ජයග්‍රහණය ලැබුවේ පන්දු අටක් ඉතිරිව තිබිය දී ය. චැම්පියන් කුසලාන තරගවලියක මෙය වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයගත් නව වාර්තාවක් ද වේ. මීට පෙර කණ්ඩායම් දෙක අතර අවසාන වරට පැවැති තරග 17න් 14ක් ම ඉන්දියාව ජය ලබා සිටීමේ හේතුවෙන් ප්‍රධානම තරගාවලියක ලැබූ මේ ජයග්‍රහණයේ විශිෂ්ඨත්වයක් පවතී.
බී කොටසට අයත් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් සියල්ලම දැනට තරගය බැගින් ජයගෙන සිටින හෙයින් අවසාන පූර්ව තරග දෙකට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදුව ඇත්තේ ඉරිදා (11) පැවැත්වෙන ඉන්දියා – දකුණු අප්‍රිකා තරගයේත් සඳුදා (12) ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයේත් ජයග්‍රහණයෙන්ගෙනි. අවසාන පූර්ව තරග දෙක 14 හා 15 දිනවල පැවැත්වෙන අතර එංගලන්තය ඊට දැනටමත් සුදුසුකම් ලබා සිටිති.
ඉන්දියාව සහභාගි වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර මාස කිහිපයකට පෙරම විකිණී අවසාන හෙයින් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා ලෝලීනගෙන් හතරෙන් තුනක් පමණම සිටියේ ඉන්දියානුවන්ය. ඉන්දියාව පන්දුවට පහර දෙන විට ප්‍රීතියෙන් ඔල්වරසන් දුන් මොවුනට ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ සිටම 49 වන ඕවරය දක්වාම ක්‍රීඩා පිටිය දෙස බලා සිටියේ දුක්මුසු ස්වරයකින් දැඩි නිෂ්ශබ්දතාවයකිනි. ක්‍රීඩා ලෝලීනට පමණක් නොව ඉන්දීය ක්‍රීඩකයන්ට ද නරඹන්නන් මෙන් බලා සිටීමට සිදු වූයේ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ඇන්ජිලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න ඕවරයකට ලකුණු 10-12 බැගින් ආක්‍රමණශීලීව පන්දුවට පහර දෙන අවස්ථාවන් හී දීය.
ලබන සැප්තැම්බරයේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග තුනකට එක්දින තරග පහකට 20 – 20 තරග දෙකකට සහභාගි වීමට නියමිත අතර, එම තරගවලියට ශ්‍රී ලංකාව බ්‍රහස්පතින්දා (8) පෙන් වූ දක්ෂතා යහපත් පෙරහුරුවකි.
ඉන්දියාව සමග තරගයට ලංකා පිල නම් කිරීමේ දී ධනුෂ්ක ගුණතිංලක, ඇන්ජිලෝ මැතිව්ස් හා තිසර පෙරේරා අලුතින් කණ්ඩායමට එක්කර සිටී අතර, මොවුන් තිදෙනාගෙන් ම ලංකා පිලට සිදු වූයේ විශිෂ්ඨ වූ සේවාවකි. ධනුෂ්ක ගුණතිලකගේ සේවය විශේෂයෙන් පැසසිය යුතු වන්නේ ඔහු ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 දෙනාට හෝ ඇතුළත් ව නොසිට එකම පුහුණු තරගයකට හෝ සහභාගි නොවී පුහුණුවීමේ දී ආබාධයට ලක් වූ චාමර කපුගෙදර වෙනුවට කණ්ඩායමට එක් ව තුන් ඉරියව්වේ ම පෙන්වූ විශිෂ්ට දස්කම් මතය. පන්දු යැවීමේ දී හා රැකීමේ දී ද ඔහු විශේෂ දක්ෂතා දැක්වීය.
නායක ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්ව ගුණාංග හා අවශ්‍ය වේලාවේ දී නොදැවී ලබාගත් අර්ධශතකය ද වැදගත් වේ. ශ්‍රී ලංකාව මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේ ඉන්දීය කණ්ඩායමටය.
ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා රෝහිත් ෂර්මා (78) ශිකර් ධාවන් (125) සහ මහේන්ද්‍ර සිං දෝනි (63) හා යාදව් (නොදැවී 25) ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා ලසිත් මාලිංග (70 කඩුලු 2යි) සුරංග ලක්මාල් (72 ට 1යි) හා නුවන් ප්‍රදීප් (73ට 1යි) දැඩි ප්‍රහාරයකට ලක් කරමින් ලකුණු 321ක දැවැන්ත සංඛ්‍යාවකට අඩිතාලම දැමූහ. ශ්‍රී ලංකාව සමග කවදත් දස්කම් දක්වන ශිකර් ධාවන් මුල් විකට්ටුවට රෝහිත් ෂර්මා සමග ලකුණු 138ක් ද (පන්දු 149) සිව්වන කඩුල්ලට මහේන්ද්‍ර සිං දෝනි සමග පන්දු 64 ක දී ලකුණු 83ක් ද රැස් කළහ. ධාවන් පන්දු 128ක දී ලකුණු 125ක් ලබාගත්තේ හයේ පහරකින් හා හතරේ පහර 15ක් සමගය. ෂර්මා ලකුණු 78ක් ලැබුවේ පන්දු 79ක දී හයේ පහර තුනක් සහ හතරේ තුනක් සමගිනි. වේග පිතිහරඹයක නියැලුණු මහේන්ද්‍ර සිං දෝනි පන්දු 53 දී ලකුණු 63ක් ලැබුවේ හයේ දෙකක් හා හතරේ හතක් සමගය. අසේල ගුණරත්න ඕවර තුනක් යවා ලකුණු හතකට ප්‍රබල පිතිකරු යුවරාජ් සිං (7) දවාලීමට වගබලා ගත්තේය.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ නිරෝෂන් දික්වැල්ල (07) මුළු ලකුණු 11 දී දැවීයාමෙන් පසු 22 හැවිරිදි කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ඉන්දියානුවන් දැඩි ප්‍රහාරයකට ලක් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අඩිතාලම දමමින් දෙවන කඩුල්ලට ලකුණු 159ක් ලැබුවේ පන්දු 139ක දී ය. ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාවෙන් අඩකට ආසන්නවම මොවුන්ගේ සබදතාවයෙන් ශ්‍රී ලංකාවට ලැබිණි. පරාජයන් කිහිපයකට ළක් ව පසුගිය දිනවල මද කණස්සල්ලෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනට ඉන්දීය තරගයේ දී දෑත් ඔසවා මුව පුරා සැහැල්ලුවෙන් සිනහවීමට අවස්ථාව උදාවිණි.
එකම කණස්සල්ල වූයේ ගුණතිලකට හා මෙන්ඩිස්ට පෙනි පෙනී තිබූ ශතක කරායාමට තිබූ අවස්ථා දුවද්දී දැවීයාමෙනි. කුසල් මෙන්ඩිස් පන්දු 93 ක දී හයේ පහරක් හා හතරේ 11ක් සමග ලකුණු 89ක් ද ගුණතිලක පන්දු 72ක දී හයේ දෙකක් හා හතරේ හතක් සමග ලකුණු 76ක් ද රැස් කළහ. කුසල් ජනිත් පෙරේරා ආබාධ මත ලකුණු 47ක ට පිටියෙන් ඉවත් වීමෙන් පසු නායක මැතිව්ස් සිව්වන කඩුල්ලට අසේල ගුණරත්න සමග පන්දු 34ක දී ලකුණු 51ක් ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය කරා ගෙන ගියහ. මැතිව්ස් පන්දු 45 ක දී නොදැවී 52ක් ලැබුවේ හතරේ හයක් සමගය. ගුණරත්න දැවැන්ත හයේ දෙකක් හතරේ දෙකක් සමග නොදැවී 34ක් ලැබුවේ පන්දු 21ක දී ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගවල දී ක්‍රීඩකයන් ආබාධවලින් තොර වීමට ප්‍රාර්ථනා කරමු.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-