ඉරිදා – සඳුදා වැදගත් තරග දෙකක්
චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකාව අයත්වන බී කොටසේ මූලික වටයේ ප්‍රධානම තරග දෙක ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර (11) ඕවල් ක්‍රීඩාංගණයේදීත් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සඳුදා (12) කාඩිෆ්හි දී ත් පැවැත්වීමට නියමිතය. මේ තරග දෙකේ ජයග්‍රාහකයන් මේ මස 14 හා 15 වන දිනවල අවසාන පූර්ව තරග දෙකට සහභාගි වීමට නියමිතය.
මේ තරග දෙකේම පරාජිතයනට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වේ. ශ්‍රී ලංකාව හා පාකිස්තානය යන කණ්ඩායම් දෙකම අවසාන වරට තරග වැදුණු තරග දෙකම ජයගෙන පසුවන්නේ ප්‍රබල තත්ත්වයකිනි. පාකිස්තානය දකුණු අප්‍රිකාව පරාජය කළ අතර බ්‍රහස්පතින්දා (8) ශ්‍රී ලංකාව ද කඩුලු 7කින් ඉන්දියාව පරාජය කළේ පහසු ආකාරයකිනි. චැම්පියන් කුසලාන තරගාවලියන් හි ශ්‍රී ලංකාව වරක් ඉන්දියාව සමග සමසූරයන් වූ අතර තවත් වරෙක අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
කාඩිෆ්හි සඳුදා (12) පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයේදී ජයග්‍රහණය ලබා තවත් වරක් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි. ඉන්දියාව සමග තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පෙන් වූ දක්ෂතා නැවත වතාවක් ලබන සඳුදාත් පෙන්වුවහොත් ශ්‍රී ලංකාවට ප්‍රබල පාකිස්තානය අභිබවා යාමට අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ම අංශයක් වූ පන්දු රැකීම මේ වනවිට උසස් මට්ටමකට නැවත පැමිණ තිබීම විශේෂ සිදුවීමකි.
ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් තිදෙනා ලසිත් මාලිංග, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් දකුණු අප්‍රිකා තරගයේ දී ඕවරයකට සාමාන්‍ය ලකුණු පහකට ආසන්න වන ලෙස දක්ෂ අයුරින් පන්දු යැව්වත් ඉන්දියාව සමග තරගයේ දී තිදෙනාගෙන්ම ඕවර දහයට ලකුණු 70 බැගින් ඉක්මවා ඉන්දියානුවන් ලබාගත්හ. එහෙත් ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා සහ අසේල ගුණරත්න ඉන්දියානු පිතිකරුවන් මෙල්ල කර ගැනීමෙන් ඔවුන් ලකුණු 321ක ට සීමා කර ගැනීමට අවස්ථාව සැලසුණි.
පන්දු රැකීම ඉතාමත්ම වැදගත් වන අතර, ධනුෂ්ක ගුණතිලකගේ විශිෂ්ට පන්දු රැකීම ලකුණු 20ක් පමණ ආරක්ෂා කර ගැනීමට ද අවස්ථාව උදාවිණි. ධනුෂ්ක ගුණතිලක පන්දුවෙන් පිත්තෙන් හා පන්දු රැකීමෙන් තුන් ඉරියව්වේ ම පෙන්වන විශේෂ කුසලතා ලංකා සාර්ථකත්වයට බෙහෙවින් දායක වී තිබේ.
1975 සිට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින තරගවලදී 147 වතාවක් මුණගැසී ඇති අතර, පාකිස්තානය 89 වතාවක් ද ශ්‍රී ලංකාව 58 වතාවක් ද ජය ගෙන තිබේ. තරගයක් සමව ඇති අතර, තරග හතරක විසඳුමක් ලැබී නොමැත.
ඉරිදා (11) පැවැත්වෙන ඉන්දියා – දකුණු අප්‍රිකා තරගයේ දී ඉන්දීය පන්දු යවන්නන් විශේෂ වූ දක්ෂතා පෙන්වීමට අසමත් වුවහොත් ඉන්දීය පිලට මින් ඉදිරියට යාමට ඇති අවස්ථාව අල්ප බව සිකුරුය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-