ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවැරදි පාද චලනයට විශේෂඥ සහය
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පාද ක්‍රියාකාරීත්වය (පාදචලනය) නිවැරදිව සිදු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දීමටත් අත්පන්දු යැවීමේ හා පන්දු රැකීමේදී නිතර මුහුණ දෙන ආබාධවලින් වැළකී සිටීමටත් ආබාධයන්ට ළක්වන ක්‍රීඩකයනට ඉක්මනින්ම සුවය ලබා ගැනීමට උපදෙස් සැපයීමටත් නිවැරදිව පාද ක්‍රියා කරවීමේ ඕස්ට්‍රේලියානු විශේෂඥයෙකුගේ සහය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්හට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු පිහිනුම් සූරයෙකු හා පාද ක්‍රියා කරවීමේ (චලනය) විශේෂඥයෙකු වන නිකලස් ස්ප්‍රෙන්ජර් මහතාගේ සේවය මේ අනුව ඉදිරියේ දී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනට හිමි වේ. දීර්ඝ වේලාවක් පන්දු යැවීම පිටියේ ඈත ප්‍රදේශවල පන්දු රැකීමේදී බිම පෙරැළී පන්දු නවතා ගැනීම් වේගයෙන් කඩුලු අතර දුවයාම පන්දු නතර කිරීමට ක්ෂණිකව දෙපසට පැනීම ආදී ඉරියව්වලදී ඇතිවන ආබාධවලින් වැළකීමට නිවැරදිව පාද චලනය සිදු කිරීම මේ වැඩ පිළිවෙලින් අපේක්ෂා කෙරේ.
එංගලන්තයේ දී පසුගියදා පැවැති චැම්පියන්ස් කුසලාචන ක්‍රිකට් තරගාවලියේත් ඊට පෙර පැවැති තරගාවලි කිහිපයකදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකුම පාහේ නිතර පාද ආබාධවලට ළක්වන බව පෙනී ගියෙන් හදිසි අත්‍යාවශ්‍ය කරුණක් ලෙසින් නිවැරදි පාද චලන ක්‍රියාවලිය හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ. ක්‍රීඩකයන් බොහෝවිට පාද ආබාධවලට ළක්වනුයේ වැරැදි ඉරියව්වලින් පාද හැසිරවීමෙන් බව ද පෙනී ගොස් තිබේ.
ජාතික සංචිතවල ක්‍රිකට් ක්‍රීඩකයන් තිහක තිස්පහක ප්‍රමාණයකට මේ වැඩ පිළිවෙළ යටතේ මුලින්ම සේවය සැලසේ. නිකලස් ස්ප්‍රෙන්ජර් යටතේ මොවුන් දිනපතා පුහුණුවක් ලබන අතර පසුව ස්ප්‍රෙන්ජර්ගේ සේවය මෙරට තරුණ ක්‍රීඩකයන්ට ද ලබාදීමට අපේක්ෂා කෙරේ.
නිවැරදි ලෙස පාද චලනය කිරීමෙන් ක්‍රීඩකයන් මුහුණපාන ආබාධ ප්‍රමාණය ද ඉතා අල්පය. සුළු ආබාධයකට ලක්වුව ද ඉක්මන් සුවය ලබා ගැනීමටද ස්ප්‍රෙන්ජර් උපදෙස් ලබාදෙයි. දිවීම ඉදිරියට පැනීම උස්පහත් වීම වැනි ක්‍රියාකාරිකම්වල දී නිවැරදි ක්‍රියාකාරිකම් අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳවද උපදෙස් හිමි වේ.
පසුගිය දිනවල පැවැති ජාත්‍යන්තර තරගවලදී විදේශ රටවල ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම ඉතා අවම ප්‍රමාණයක පවතින බවටෙද පෙනී ගොස් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් වන නායක ඇන්ජිලෝ මැතිව්ස් වේගපන්දු යවන ලසිත් මාලිංග තුන් ඉරියව්වේ ම ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න සහ තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් පස් හය දෙනෙකුම පසුගිය තරගාවලි කිහිපයකදීම ආබාධයන්ට ළක්ව සිටියහ. විශේෂයෙන්ම වේගපන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුම පාද ආබාධවලට ගොදුරුව සිටියහ. මේ අනුව පාද චලනයේ නිවැරදි ඉරියව් අත්‍යාවශ්‍ය කරුණක්ව ඇත.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-