නිරෝෂන්-ධනුෂ්ක ලෝක වාර්තා තැබුවත් සිම්බාබ්වේ තරගාවලිය සම කරයි
ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් දෙදෙනා නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිට පිටම දෙවතාවක් මුල් විකට්ටුවට ද්විත්ව ශතක ලබා ලෝක වාර්තාවක් බිහි කළත්, සිම්බාබ්වේ කණ්ඩායම ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයට සිව්වැන එක්දින තරගය ජයගැනීම මත තරගාවලිය දැන් 2-2ක් ලෙස විවෘතව පවතී.
ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතර සිටියත්, නැවත වතාවක් පන්දු යවන්නන් තම කාර්යය මැනවින් ඉටු නොකිරීම පරාජයට මූලික හේතුවයි. ජයග්‍රහණය සඳහා ලකුණු 301ක් කරා යාමට පැමිණි සිම්බාබ්වේ පිතිකරුවන් ඕවර 21ක් අවසානයේ කඩුලු තුනකට ලකුණු 139ක් ලබා සිටියදී වර්ෂාව පතිත විය. මේ වනවිටත් සිම්බාබ්වේ පිල ඩක්-වර්ත්-ලුවිස් ක්‍රමයට ලකුණු නවයකින් ඉදිරියෙන් සිටියේය. පැයකට පසු තරගය නැවත ආරම්භ කිරීමෙන් පසුව සිම්බාබ්වේ පිලට ලැබුණු ඉලක්කය වූයේ ඕවර 31කදී ලකුණු 219කි. ඊළඟ ඕවර දහයේදී ඔවුනට ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු අසූවකි. කඩුලු හයක් දැවී එම ඉලක්කයට ඔවුන් ළඟා වූයේ පන්දු දහයක්ද ඉතිරිවය. ආක්‍රමණශීලී පිති හරඹයක නිරතවූ ක්‍රෙග් අර්වින් පන්දු 55කදී හයේ පහරක් හා හතරේ පහර අටක් සමඟ නොදැවී ලකුණු 69ක් ලබා තරගයේ වීරයා ලෙස තේරිණි.
තෙවන වතාවටත් සිම්බාබ්වේ මේ සංචාරයේදී 300 ඉක්මවා ලකුණු රැස්කළ අතර ලක්ෂාන් සඳකැන් දෙවන තරගයේදී මෙන්ම දැඩි ප්‍රහාරයකට ලක්වෙමින් ඕවර 3.2කදී ලබාදුන් ලකුණු ප්‍රමාණය 45කි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනා වන සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ආබාධ මත තරග නොකිරීම පන්දු යැවීම දුර්වලවීමට ප්‍රධාන සාධකයකි. අත ළඟ ඇති ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා පන්දු යැවීම සකසා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා, නිරෝෂන් දික්වැල්ල (116) සහ ධනුෂ්ක ගුණතිලක (87) පිට පිටම තරග දෙකකදී ද්විත්ව ශතක ලබා ක්‍රිකට් ඉතිහාස වංශකථාවේ ලෝක වාර්තා තබා දුර්ලභ ගණයේ පෙරළියක් සිදුකිරීමෙන් පසු, සෙසු පිතිකරුවනට ඉතිරි ඕවර 15දී ලබාගත හැකි වූයේ ලකුණු 91ක් පමණෙකි. දික්වැල්ල හා ගුණතිලක ලකුණු 209ක් ලැබුවේ ඕවර 35කදී ය.
දික්වැල්ල පන්දු 118ක දී හතරේ පහර අටක් සමඟ ලකුණු 116ක් ලබා තම වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවද ගුණතිලක හතරේ පහර හතක් සමඟ ලකුණු 87ක් ද ලැබූහ. දික්වැල්ල පිට පිටම ලැබූ දෙවන එක්දින ශතකය ශ්‍රී ලංකා පිතිකරුවකු එලෙස ලැබූ අටවන වතාවයි. මැතිව්ස් ලකුණු 42ක් (පන්දු 40) රැස් කළේය.
කණ්ඩායම් දෙක අතර තීරණාත්මක පස්වන හා අවසාන එක් දින තරගය ද සඳුදා (10) සූරියවැව දී පැවැත්වේ. අවසාන වරට ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ මීට වසරකට පෙර අයර්ලන්තය පැරදවීමෙනි.
-බන්දුල මොල්ලිගොඩ-
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-