සිම්බාබ්වේ 356යි
මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම දෙවන දින (15) උදේ 10.25 වන විට සියලු ක්‍රීඩකයින් දැවී මුල් ඉනිමට ලකුණු 356ක් රැස් කළේය. ප්‍රථම දින තරගය නතර කරන විට කඩුලු 8ක ට ලකුණු 344ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායමට දෙවන දින ඉතිරි කඩුලු දෙක දැවී එක් කළේ තව ලකුණු දොළහක් පමණකි.
සිම්බාබ්වේ ඉනිමේ විශේෂත්වයන් වූයේ ක්‍රේග් අර්වින් ලකුණු 160ක් රැස් කිරීම සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන රංගන හේරත් ඕවර 32ක් යවා ලකුණු 116ක ට කඩුලු පහක් දවාලීමය. මෙය හේරත්ගේ 373 ටෙස්ට් කඩුලු සංඛ්‍යාව වන අතර කඩුලු පහ ඉක්ම වූ 29 වන වතාව ද වේ.
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 356ක් වැනි සංඛ්‍යාවක් කරායාමට මූලික වූයේ ක්‍රේග් අර්වින්ගේ පිතිහරඹයයි. 12 වන ටෙස්ට් තරගයට සහභාගි වන අර්වින් මීට පෙර තම මව් බිමෙන් පිටත ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 38කි. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවට පහර දෙද්දී ලකුණු 38ක ට ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනෙකු දැවී මුල් ඉනිමේ අඩු සංඛ්‍යාවකට දැවී යන ලකුණු පහළ කර තිබිය දී අර්වින් අගනා සබඳතා හයක්ම රඳවා ගනිමින් තනි සටනක නිරතව තම කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත් කළේය.
සිම්බාබ්වේ සිව්වන කඩුල්ලේ සිට නවවන කඩුල්ල දක්වාම තනි සටනක නිරත වූ අර්වින් සිව්වැනි කඩුල්ලේ සිට 32, 84, 41, 65, 22සහ 74ක් ලෙස නව වන කඩුල්ල තෙක් සබඳතා තබාගැනීමට සමත් විය. ක්‍රේග් අර්වින් පන්දු 256ක ට මුහුණ දී හයේ පහරක් හතරේ 13ක් සමග ලකුණු 160ක් ලබා දැවී ගියේ අවසාන පිතිකරු ලෙසිනි. මේ පිතිකරු ටෙස්ට් තරගයක දී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ. ළහිරු කුමාර ඕවර 17.4ක් යවා ලකුණු 64ක ට කඩුලු 2ක් ද අසේල ගුණරත්න ලකුණු 28ක ට කඩුලු 2ක් ද දිල්රුවන් පෙරේරා කඩුල්ලක් ද දවාලූහ.
නව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමේ දී කඩිසර බවක් පෙන් වූ අතරම චන්දිමාල් ද ක්‍රියාශීලිව පන්දු රකින්නන් මෙහෙයවනු දක්නට ලැබිණි. සමස්තයක් ලෙස මෑත ඉතිහාසයේ තරගාවලියන් දෙස බලන විට ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී පසුපස සිටින අයර්ලන්තය, බංග්ලදේශය හා සිම්බාබ්වේ වැනි කණ්ඩායම් දැන් ප්‍රබල කණ්ඩායම් හා සමානව ම දස්කම් පෙන්වනු දක්නට ලැබේ.
දෙවන දින දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී කිසිවෙකු නොදැවී ලකුණු 77ක් ලබා සිටියේය. මෙහි දී උපුල් තරංග නොදැවී 53ක් ද දිමුත් කරුණාරත්න නොදැවී 23ක් ද රැස් කළහ. තරංග සිය හත්වන අර්ධ ශතකය ඊයේ ලැබුවේ හයේ පහරක් හා හතරේ හතක් සමගිනි.
– බන්දුල මොල්ලිගොඩ –