අපගේ උපරිම දක්ෂතා පෙන්වනවා – ඉන්දීය නායක කෝලි පවසයි
ඉන්දියාව ලොව අංක එකටත් ශ්‍රී ලංකාව අංක හතටත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී පසුවුවත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට නම් ඉන්දියාව තම උපරිම හැකියාවන් පෙන්විය යුතුව ඇතැයි ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය පිළිබඳ්ව පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන විට කවදත් දක්ෂතා පෙන්වා තිබෙනවා. අප අපගේ උපරිමයන් පෙන්වා මේ තරගාවලිය ජයගෙන අංක 1 ස්ථානය දිගටම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද කෝලි පවසයි.
මීට පෙර අප 2015 ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී පසුවූයේ හත්වන ස්ථානයේ. ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රථම තරගයේ අප ගාල්ලේදී පරාජය වුවත් ඊළඟ තරග දෙක ජයගෙන තරගාවලියම ජයගත්තා. එහිදී අපගේ දුර්වලතා දක්ෂතා හොඳින් හඳුනාගෙන කැපවීමකින් ක්‍රියාකර මාස 12 – 14 තුළ දකුණු අප්‍රිකාව බටහිර ඉන්දීය කොදෙව් නවසීලන්තය එංගලන්තය බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව පරාජය කර ලොව අංක 1 කණ්ඩායම බවට පත්වූවා. මෙය කවුරුත් දන්නා කරුණකැයි ඉන්දීය නායකයා කීවේය.
කණ්ඩායමක් ප්‍රබල වුවත් දුර්වල වුවත් ක්‍රිකට් ක්‍රීඩාව ජය ගැනීමට නම් උපරිමය පෙන්වීම අනිවාර්යයි. ලෝකයේ ඕනෑම රටකට ගොස් ජය ගැනීමට නම් හොඳින් පන්දු යවා හොඳින් පිතිකරණයේ යෙදී උපරිමය පෙන්විය යුතුයි. මැතිව්ස්, රංගන හේරත් හා ධම්මික ප්‍රසාද් වැනි ප්‍රබල ක්‍රීඩකයන් අදත් ශ්‍රී ලංකාව සතුව සිටිනවා. තරගයකට ගෞරව කිරීම ඊට සූදානම් වීම පුහුණුව යනාදියෙන් පරිනත වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකිවන බවද විරාට් කෝලි ප්‍රකාශ කළේය.
ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු රවී සාස්ත්‍රී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තම ජීවිතයේ කේන්ද්‍ර ස්ථානයක් බවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස අවුරුදු 18 දී තමා මුලින්ම විදේශ සංචාරයකට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ බවත් පසුව 1994 ප්‍රථම වරට නිවේදකයකු ලෙස මෙහි ආ තමා දැන් ප්‍රථම වරට ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි බව කීවේය. තම මව් රටේ දී උපරිම දස්කම් පෙන්වන ලොව හොඳම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. ලොව අංක 1ට සිටි ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 3 – 0 කින් පරදා එය ඔවුන් ඔප්පුකර ඇතැයි සාස්ත්‍රී කීය.
ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග ප්‍රකාශ කළේ මීටපෙර ලොව අංක 1 කණ්ඩායම වූ ඕස්ට්‍රේලියාව තරග 3 – 0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නම් මෙවර ප්‍රබල ඉන්දියාව සමග දස්කම් පෙන්වීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ඇතැයි යන්නයි. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අසනීප මත මේ අවස්ථාවට එක් නොවීය. ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා මහතා කණ්ඩායම් දෙකට මේ අවස්ථාවේ සුභ පැතීය
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-