ඉන්දියාව 622/9යි ශ්‍රී ලංකාව 50/2යි
එස්. එස්. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දියාව මුල් ඉනිමේ දී ලබාගත් කඩුලු 9කට ලකුණු 622කට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලබා සිටියේ ලකුණු පනහකි.
දැවී ගිය පිතිකරුවන් දෙදෙනා වූයේ උපුල් තරංග (00) සහ දිමුත් කරුණාරත්නය (25) මේ පිතිකරුවන් දෙනොම දවාලුවේ දඟපන්දු යවන රචිචන්ද්‍රන් අස්වින්ය. (ලකුණු 38කට කඩුලු 2යි) දෙවන දින තරගය නිමාවන විට නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු අටක්ද (හයේ පහරක් සමඟ) හා කුසල් මෙන්ඩිස් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 16ක්ද ලබා සිටියහ.
ඉන්දියාව ලකුණු 622ක් වැනි විශාල සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව ලැබුණේ පිතිකරුවන් හයදෙනෙකුම (දෙදෙනෙකු ශතක දෙකක්ද තවත් පිතිකරුවන් සිව්දෙනෙකු අර්ධ ශතක හතරක්ද ලැබීමත්) මතය. ඉන්දීය පිල දෙවන දින දිවා ආහාරය වන විට කඩුලු පහකට ලකුණු 442ක්ද සවස තේ විවේකය වන විට කඩුලු 7කට ලකුණු 553ක්ද ලබා ප්‍රබල තත්ත්වයක පසුවිණි. ඔවුනගෙ අගපෙළ පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නියැළීමෙන් ඉනිම අග භාගය වේගවත් කළහ.
ඉන්දියාව ලකුණු 622ක් ලැබුවේ මිනිත්තු 640ක් කඩුලලේ රැඳී ඕවර 158කට මුහුණදීමෙනි.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම දෙවන දින සවස 3.40ට තම ඉනිම නිමාවට පත් කළේ කඩුලු 9කට ලකුණු 622ක් ලබා සිටියදීය. ඉන්දීය කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදා වූයේ පිතිකරුවන් දෙදෙනෙකු ශතකත් සිව්දෙනෙකු අර්ධ ශතකත් ලබා ගැනීම මතය.
චෙඩෙෂ්ටාර් පුජාරා (133) අජන්ක්‍යා රහනේ (132) කේ. එල්. රාහුල් (57) රවීන්ද්‍ර අස්වින් (54) රිදිමන් සභා (67) සහ රවීන්ද්‍ර ජඩෙජා (නොදැවී 70යි) එම පිතිකරුවෝය. ඉන්දීය කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ සිව්වන කඩුල්ලට පුජාරා සහ රහනේ ලබාගත් ලකුණු 217ය. (මිනිත්තු 209යි පන්දු 320යි) මොවුන් දෙදෙනා ප්‍රථම දින නොදැවී ලකුණු 211ක් ලබා සිටියත් දෙවන දින එක් කළේ ලකුණු හයකි. මුළු ලකුණු 350 දී දිමුත් කරුණාරත්නගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට පුජාරා (ලකුණු 133 පන්දු 232යි හතරේ 11යි, හයේ 1යි.) මුලින්ම දැවී ගියේය.
පෙරදින ශතකලාභීන් දෙදෙනාම දිවා ආහාරයට පෙර දවා ගැනීමට ලංකා පිල සමත් විය. ලකුණු 445 දී මලින්ද පුෂ්ප කුමාරගේ පන්දුවකට රහනේ දැවී ගියේ (ලකුණු 13යි. පන්දු 222යි හතරේ 14යි) කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමෙනි. දිවා ආහාරයේදී ඉන්දියාව කඩුලු පහකට ලකුණු 442ක් ලබා සිටියේය. දිවා ආහාරයේ සිට සවස තේ පානය තෙක් තවත් කඩුලු දෙකක් දැවී ලකුණු 111ක් රැස් කර ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් විණි.
තේ පානයට පෙර දැවී ගියේ රවින්ද්‍ර අස්වින් (ලකුණු 54යි. පන්දු 132යි. හයේ එකයි.හතරේ පහයි.) සහ හර්දික් පාන්ඩ්‍යාය. (ලකුණු 20යි. පන්දු 20යි. හතරේ තුනයි.) රිදිමන් සභා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 134ක දී හයේ පහරක් හා හතරේ හතරක් සමග ලකුණු 67ක්ද රවීන්ද්‍ර ජඩෙජා වේග පිති හරඹයක නියැළෙමින් පන්දු 85ක දී හයේ තුනක් හා හතරේ හතරක් සමග නොදැවී 70ක් ද ලැබූහ.
මොහමඩ් සාමි පන්දු අටකදී හයේ දෙකක් හා හතරේ පහරක් සමග ලකුණු 19ක් ලබා ඉන්දීය ඉනිම අග භාගය වර්ණවත් කළේය.
– බන්දුල මොල්ලිගොඩ –