මෙන්ඩිස් හා කරුණාරත්නගෙන් 191ක සබඳතාවයක්
ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 110ක් ද ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92ක්ද ලබාගැනීම මත ශ්‍රී ලංකාවට තෙවන දින තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා කඩුලු දෙකකට ලකුණු 209ක් ලබා සිටීමට අවස්ථාව උදාවිණි.
කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න ලංකා දෙවන කඩුල්ලට ලකුණු 191ක් ලබා අනර්ඝ සබඳතාවයක් තබාගන්නා විට මෙවර ටෙස්ට් තරගාවලියේ ප්‍රථම වරට ඉන්දීය පිලට අභියෝගයක් ලබාදීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිණි. මෙන්ඩිස් ලැබූ ශතකය මෙවර ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ශතකය වන අතර මේ සබඳතාවය තරගාවලියේ මෙතෙක් ලංකා පිලේ හොඳම සබඳතාවයයි. ලකුණු 191ක මේ සබඳතාවය මිනිත්තු 212කදී (පන්දු 313කදී) රැස්කැරිණි. මෙන්ඩිස් දැවී ගියේ තරගය නිමවීමට මිනිත්තු දහයක් තිබියදීය.
කුසල් මෙන්ඩිස්ගේ මේ ශතකය ඔහු ලැබූ තෙවන ශතකය වේ. මීට පෙර ඔහු ඕස්ට්‍රේලයාව හා බංග්ලාදේශය සමඟ ශතක ලබා ඇත. දිමුත් කරුණාරත්න මෙදින ලැබුවේ සිය 12 වන අර්ධ ශතකයයි. කරුණාරත්න ගාල්ලේ ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ද ලකුණු 97ක් ලැබීය. මේ තරගයේදී මොහුට ශතකයට තව අවශ්‍යවන්නේ ලකුණු අටකි. මීට පෙර ඔහු ටෙස්ට් පහක් ලබා ඇත.
ඉන්දියාව මුල් ඉනිමේදී ලකුණු 622ක් ලැබූ අතර, ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 183ක් ද දෙවන ඉනිමේදී කඩුලු දෙකකට ලකුණු 209ක්ද ලබා ඉන්දීය මුල් ඉනිමට වඩා තවමත් ලකුණු 208ක් පිටුපසින් සිටී.
ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිම සඳහා පිටියට පිවිසීමෙන් පසු මුළු ලකුණු හතේදී උපුල් තරංග නැවත වරක් ලකුණු නොලබාම දැවී ගියේය. මෙන්ඩිස් පන්දු 135කදී (මිනිත්තු 212) ලකුණු 135කට දැවීගියේ හතරේ 17ක් සමගය. කරුණාරත්න නොදැවී 92ක් ලබාසිටින්නේ පන්දු 200කදී (මිනිත්තු 238) හතරේ 12ක් සමගය.
තෙවන දින තරගය ආරම්භ කරනවිට තම මුල් ඉනිම සඳහා කඩුලු දෙකකට ලකුණු 50ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි පිතිකරුවන් අට දෙනාම දිවා ආහාරය වනවිට (දහවල් 12.06ට) දැවී ගියේ තවත් ලකුණු 133ක් පමණක් එක්වද්දීය. ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 183ක් ලබාගත්තේ මිනිත්තු 195කදී (ඕවර 49.4) ගතවද්දීය. ඉන්දීය මුල් ඉනිමට වඩා ශ්‍රී ලංකාවට ලකුණු 439ක් වැනි විශාල සංඛ්‍යාවක් පිටුපසින් සිටීමටද සිදුවිණි.
මුල් ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවයන් වූයේ පස්වන කඩුල්ලට ඇන්ජිලෝ මැතිව්ස් (26) සහ නිරෝෂන් දික්වැල්ල (51) පන්දු 51කදී එක්කල ලකුණු 53ය. අනෙක් හොඳම සබඳතාව වූයේ දිමුත් කරුණාරත්න (25) සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට පන්දු 70කදී එක්කල ලකුණු 33ය. ලංකා මුල් ඉනිම සඳහා අර්ධ ශතකයක් ලබාගත් එකම පිතිකරුවා වූයේ නිරෝෂන් දික්වැල්ලය. දික්වැල්ල මිනිත්තු 57ක් කඩුල්ලේ රැදී පන්දු 48කට පමණක් මුහුණදී හයේ පහරක් හා හතරේ හතක් සමග ලකුණු 51ක් ලැබීය.
ඇන්ජලෝ මැතිව්ස් (ලකුණු 26යි පන්දු 33යි හතරේ 2යි හයේ 2යි) දිල්රුවන් පෙරේරා (ලකුණු 25යි පන්දු 34යි හතරේ තුනයි හයේ එකයි) කුසල් මෙන්ඩිස් (ලකුණු 24යි පන්දු 64යි හතරේ 4යි) දිමුත් කරුණාරත්න (ලකුණු 25යි) මලින්ද පුෂ්පකුමාර (නොදැවී ලකුණු 15යි පන්දු 22යි හතරේ එකයි හයේ එකයි) ලංකා මුල් ඉනිමේ වැඩිම ලකුණු රැස්කල පිතිකරුවෝය. රවිචන්ද්‍ර අස්වින් ලකුණු 69කට කඩුලු පහක්ද මොහමඩ් සාමි ලකුණු 13කට කඩුලු දෙකක්ද රවින්ද්‍ර ජඩෙජා ලකුණු 84කට කඩුලු දෙකක්ද දවාලමින් පන්දු යැවීමේදී දස්කම් පෑහ.
තෙවන දින (5) තරගය ආරම්භ වීමෙන් පසු මුළු ලකුණු 60දී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු දහයකටත් මුළු ලකුණු 64දී මෙන්ඩිස් ලකුණු 24කටත් දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා ඉදිරි පෙළ නිමාවට පත්විණි. මැතිව්ස්, දික්වැල්ල සහ දිල්රුවන් පෙරේරා ද දැවී යාමෙන් පසු (මැදපෙළ) ලංකා මුල් ඉනිම 183කට සීමා විණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-