ඉන්දියාව තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින සවස 2.35ට නිමාවට පත්වූයේ ඉන්දියාව ඉනිමක හා ලකුණු 53ක ජය ලබා තරගාවලියද 2-0 කින් ජයගැනීමෙනි. ඉනිමක පරාජයෙන් වැළැකීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු 439ක් අවශ්‍ය වූවත් ලංකා කණ්ඩායම ලබාගත්තේ 386කි.
ඉන්දියා මුල් ඉනිමේදී නොදැවී ලකුණු 70ක් ලබා පසුව ශ්‍රී ලංකා ඉනිම දෙකේදී කඩුලු හතක් දවාලු රවීන්ද්‍ර ජඩෙජා තරගයේ වීරයා ලෙස නම් කැරිණි. තුන්වන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 12වැනිදා ආරම්භ වන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීය.
එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවන පස්දින තරගයේ දෙවන ඉනිමේදී මේ තරගයේ ස්වරූපය වෙනස් කරගෙන ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්වනසේ වෙනස් කරගැනීමට අවස්ථා තුනක් උදාවූවත් දෙවැනි හා තුන්වන අවස්ථාවල දිග සබඳතා ක්‍රියාත්මක නොවීමෙන් ඒව මග හැරිණි. එම අවස්ථාවන් වුයේ ලංකා දෙවන ඉනිමේදී දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 191ක්ද තෙවන කඩුල්ලට කරුණාරත්න සහ මලින්ද පුෂ්පකුමාර ලකුණු 40ක්ද පස්වන කඩුල්ලට කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 69ක්ද එක්කල අවස්ථාවන්ය. තෙවන හා පස්වන කඩුලුවල සබඳතාවයන් මීට වඩා දීර්ඝ වූයේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවරවීමට අවස්ථාව තිබිණි.
ඉන්දීය නායක විරාට් කෝල් දිවා ආහාරයට මදකට කලින් දෙවන නව පන්දුව ලබා ගැනීමෙන් පසුව ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල වූ අතර දිවා ආහාරයෙන් පසු අවසාන කඩුලු හයම දැවීගියේ තවත් ලකුණු 84ක් පමණක් එක්වද්දීය.
ඉන්දීය නායකයා තරගයෙන් පසුව ප්‍රකාශ කළේ පැරැණි පන්දුව මෘදු ගතියකින් යුතුව තිබූ හෙයින් උදය වරුවේ කඩුලු ලබාගැනීම අපහසු වූවත් නව පන්දුව ලබා ගැනීමෙන් පසු තම පන්දු යවන්නන් විශේෂයෙන්ම ජඩෙජා ලංකා ඉනිම නිමාවට පත්කළ බවත්ය. ඉන්දීය මැද පෙළ පිතිකරුවන් මෑතක සිට දක්ෂතා අතර පසු වන බවකී ඉන්දීය නායකයා විශේෂයෙන්ම චෙටෙස්වාර් පුජාරා පසුගිය කාලය පුරාම ලකුණු අතර සිටීම තම කණ්ඩායමේ දක්ෂතාවට බලපෑ බවද කීවේය. තරගය පවතින විට අවස්ථාව අනුව ඊට මුහුණුදීමෙන් සාර්ථකවිය හැකි බවද ඉන්දීය නායකයා කීවේය.
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ ඉන්දියාව එක තරගයකින් හෝ පරාජය කර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ආසියාවේ ඉදිරියට යාමට අපේක්ෂාවෙන් සිටි බවත් පල්ලේකැලේ තෙවන ටෙස්ට් තරගය ජයගැනීමට බලාපොරොත්තු වන බවත්ය. දිමුත් කරුණාරත්න දියත් කළ ඉනිම පසුගිය වසර 3-4 තුළ තමා දුටු හොඳම ඉනිම බවද චන්දිමාල් කීවේ රිවර්ස් ස්විප් (අනෙක් අතට හැරී පහර එල්ල කිරීම) පහරවලට තම පිතිකරුවන් දෙවන ඉනිමේදී පෙළඹුණේ මුල් ඉනිමේදී අඩු සංඛ්‍යාවකට දැවී යාම හා ඉන්දීය පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ විලාශයට මුහුණුදීමට යැයිද ඔහු කීවේය.
දිමුත් කරුණාරත්නට එක්වූ මලින්ද පුෂ්පකුමාර සිව්වන දිනයේද පරිනත පිතිකරුවකු ලෙස හොදින් පන්දුවට පහරදෙමින් තෙවන කඩුල්ල ලෙස ලකුණු 15කට දැවීගියේ අස්විනගේ පන්දුවකට රිවර්ස් ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් පන්දුව කඩුල්ලේ වැදීමෙනි. නායක දිනේෂ් චන්දිමාල් මුල් ඉනිමේදී ලකුණු දහයකට දැවී ගිය අතර දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු දෙකක් පමණි. දිවා ආහාරය වනවිට ලංකා පිල කඩුලු 4කට 302ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. මරදානේ ශාන්ත ජෝශප් ආදි සිසුන් දෙදෙනෙකු වන දිමුත් කරුණාරත්න සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලංකා පස්වන කඩුල්ලට පන්දු 131කදී ලකුණු 69ක් එක්කළහ.
දිවා ආහාරයෙන් පසු ජඩෙජා පිට පිටම කඩුලු හතරක් දවාලීමෙන් ලංකා ඉනිම කඩා වැටිණි. දිමුත් කරුණාරත්න (ලකුණු 141යි පන්දු 307 හතරේ 16යි) මැතිව්ස් (ලකුණු 36යි පන්දු 66යි හතරේ තුනයි හයේ එකයි) දිල්රුවන් පෙරේරා (04) හා ධනංජය ද සිල්වා (17) එම කඩුලු හතරය. දිමුත් මෙදින ලැබුවේ සිය හයවන ටෙස්ට් ශතකයයි.
පසුව දික්වැල්ල (31) හා රංගන හේරත් (නොදැවී 17) ලංකා අග පෙළට යම් ජීවයක් එක්කළහ. ජඩෙජා ලකුණු 152ට ලංකා කඩුලු පහක්ම දවාලුවේය.
– බන්දුල මොල්ලිගොඩ –