20 – 20 ජය ඉන්දියාවට
මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා 20 – 20 තරගය ද ඉන්දියා පහසු ආකාරයකින් ජය ලැබුවේ කඩුලු හතකිනි. ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 170ක සංඛ්‍යාව හඹාගිය ඉන්දියා ඕවර 19.2කදී කඩුලු තුනකට ලකුණු 174ක් ලබමින් මෙවර ඉන්දීය කණ්ඩායමේ අවසාන තරගයද ජය ලැබීය.
ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 170ක ප්‍රමාණය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වෙතැයි අපේක්ෂා කළත් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි නැවත වතාවක් උපරිම දස්කම් පාමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින්, ඉන්දීය තෙවන කඩුල්ලට මනීෂ් පාණ්ඩේ සමග පන්දු 78කදී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී ලංකා අපේක්ෂාව බිඳ දැමූහ. කෝලි පන්දු 54කදී ලකුණු 82ක්ද, පාණ්ඩේ නොදැවී ලකුණු 51ක්ද ලබාගත්හ.
මෙම 20 – 20 තරගයේ ඕවර 30ක් පමණ යනතුරු ශ්‍රී ලංකාව තරගය තම දෙසට නතු කරමින් සිටියත්, ඉන්දීය තෙවන කඩුල්ලේ සබදතාවයෙන් එය වෙනස් විණි. ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් කරා යාමට ඉන්දියාව පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා රෝහිත් ෂර්මා (09) සහ ලෝකේෂ් රාහුල් (24) මුළු ලකුණු 42 වන විට දැවී අසීරු තත්ත්වයකට පත්වෙද්දී අගනා තෙවන කඩුල්ලේ සබදතාව ගොඩනැගිණි. මෙය කෝලිගේ 16 වන 20 – 20 අර්ධ ශතකය වන අතර, එය ලොව වැඩිම අර්ධ ශතක (20 – 20) සංඛ්‍යාවයි. තරගයේ වීරයා වූයේද ඉන්දීය නායකයාය.
අයහපත් කාලගුණය මත මේ තරගය ආරම්භ වූයේ රාත්‍රී 7.40ටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධනද ආබාධයකට ලක්ව සිටි හෙයින් අෂාන් ප්‍රියංජනට එම ස්ථානය හිමිවිණි. අෂාන් ප්‍රියංජන් පන්දු 40කදී ලකුණු 40ක් ලැබුවත් (හයේ දෙකයි හතරේ එකයි) ඔහු ලංකා ඉනිමේ මැදභාගය ආරක්ෂාකර ගැනීම මත ශ්‍රී ලංකාවට 170ක් වැනි ප්‍රමාණයකට යාමට අවස්ථාව උදාවිණි. ලංකා අටවන කඩුල්ලට ප්‍රියංජන් සහ ඉසුරු උදාන (නොදැවී ලකුණු 19යි පන්දු 10යි හයේ එකයි හතරේ දෙකයි) පන්දු 20කදී ලබාගත් ලකුණු 36 ලංකා ඉනිමේ අගභාගය වේගවත් කිරීමට උපකාරී විණි.
චාහල් ලකුණු 43කට කඩුලු 3ක්ද කුල්දිප් යදෙව් ලකුණු 20කට කඩුලු 2ක්ද දවාලූහ. ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වන තරංග (05) ඇන්ජලෝ මැතිව්ස් (07) තිසර පෙරේරා (11) හා සීක්කුගේ ප්‍රසන්න (11) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී පළපුරුද්දක් අඩු පිතිකරුවන් ලංකා පිල ලකුණු 170කට ගෙනයාම පැසසිය යුතුය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අංක 03 දිල්ෂාන් මුනවීර ලකුණු 53ක් ලැබුවේ පන්දු 29කදී හයේ හතරක් හා හතරේ පහක් සමගිනි.
ඉන්දියාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මාලිංග විසින් රෝහිත් ෂර්මාද සීක්කුගේ ප්‍රසන්න විසින් රාහුල්ද අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලූහ.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට ලබාදීමටය. 2017 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවැති ටෙස්ට් එක්දින හා 20 – 20 තරග නවයේදී කාසියේ වාසිය හත්වරක්ම හිමි වූයේ ඉන්දියාවටය.
ශ්‍රී ලංකා නායක උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ඕවර 2.2 කදී ලකුණු 23ක් රැස්කර සිටියදී බුනනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තරංග දැවීගියේ ලකුණු පහකටය. ඕවර 4.3දී ලකුණු 46ක් ලබාසිටියදී බුම්රාගේ පන්දුවකට අනෙක් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල දැවීගියේ ලකුණු 17කටය. (පන්දු 14යි හතරේ තුනයි) හියපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට මේ තරගයේ දී පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් පෙන්වීමට අවස්ථාවක් උදා වූයේ නොමැත. තෙවන කඩුල්ල ලෙස ඔහු මුළු ලකුණු 62කදී දැවීගියේ ලකුණු හතක් පමණක් ලබා සිටිද්දීය. (පන්දු පහයි හතරේ එකයි)
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වන කඩුල්ල ලෙස දිල්ෂාන් මුනවීර දැවී ගියේ ලකුණු 99දීය. (ඕවර 11.2යි) කළත් මෙවැනි තරගවලදී තුන් ඉරියව්වේම විශිෂ්ට දස්කම් දක්වන තිසර පෙරේරා අංක හය පිතිකරුගේ ස්ථානයට පැමිණියත් ඔහුට ලබාගත හැකිවූයේ ලකුණු 11ක් පමණෙකි.
චහාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් තිසර දැවීගියේ ඕවර 13.2දීය. තිසර පන්දු හතකට මුහුණදී හයේ පහරක්ද එල්ල කළේය. වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවකු ලෙස ප්‍රසිද්ධ දසුන් ශානක පන්දු දෙකකට පමණක් මුහුණ දී ලකුණක්වත් නොලබාම දැවීගියේ මුළු ලකුණු 113දීය. සීක්කුගේ ප්‍රසන්නද ප්‍රියංජන සමග එක්ව හත්වන කඩුල්ලට වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සහ ගත්තත් ලකුණු 134කදී ප්‍රසන්න ලකුණු 11කට දැවීගියේ ලකුණු 137කදී හත්වන කඩුල්ල ලෙසිනි.
ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ලකුණු මේ අවස්ථාවේ පහළව තිබුණත් අෂාන් ප්‍රියංජන් සහ ඉසුරු උදානගේ අගනා ලකුණු 36ක (නොදැවී) සබදතාව (ඕවර 3.2) මතුවූයේ මේ අවස්ථාවේදීය.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-