අවුරුදු 15න් පහළ අන්තර් පළාත් තරග 20 සිට
දීප ව්‍යාප්තව කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලිය අගහරුවාදා (සැප්තැම්බර් 12) නිමාවට පත්වීමත් සමග එහි දෙවැනි අදියර අන්තර් පළාත් තරගාවලිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 20 වැනිදා) ආරම්භ වීමට නියමිතය.
ප්‍රීමා සමාගම මේ තරගාවලියන්ට අනුග්‍රහය දක්වන අතර අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියට රුපියල් මිලියන 12ක් ද අන්තර් පළාත් තරගාවලියට රුපියල් මිලියන නවයක් ද වැය කැරේ. උතුර – නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල අවුරුදු 15න් පහළ පාසැල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ පාසැල් 400කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන් පෙන්වූ දක්ෂතා මත එහි විශිෂ්ඨ දස්කම් පෑ ක්‍රීඩකයන් අතුරින් අන්තර් දිස්ත්‍රික්ක කණ්ඩායම් තෝරා ගැණිනි. අන්තර් දිස්ත්‍රික්ක තරගාවලිය සැප්තැම්බර් 1 සිට 12 දක්වා දිවයින පුරා පැවැත්විණි. අන්තර් දිස්ත්‍රික්ක තරගාවලියේ විශේෂ දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් අන්තර් පළාත් තරගාවලියට තෝරා ගනී.
අන්තර් පළාත් අවුරුදු 15න් පහළ තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගි වෙති. සැප්තැම්බර් 20 සිට ඔක්තෝබර් 2 දක්වා මෙහි මූලික තරග පැවැත්වෙන්නේ එක්දින තරග ලෙසටය. ඔක්තෝබර් 5 හා 6 දෙදින මෙහි අවසාන මහා තරගය දෙදින තරගයක් ලෙසට මාලිගාවත්ත බෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ක්‍රීඩකයින් 250ක් පමණ මෙම අන්තර් පළාත් තරගාවලියට එක්වෙති.
අන්තර් පළාත් තරගාවලියේ අවසාන මහා තරගයත් සමග පැවැත්වෙන සම්පූර්ණ තරග සංඛ්‍යාව 31කි. තරගාවලියට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට හා නිලධාරීනට නවාතැන් පහසුකම් හා අනෙකුත් ක්‍රීඩාංගණ පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පළාත්වලට ලබා දී ඇත. අවසාන තරගයට සහභාගි වන ක්‍රීඩකයන් වර්ණ ඇඳුමින් සැරැසී ක්‍රීඩා කරන අතර සූරයනට හා අනුසූරයනට මුදල් ත්‍යාග ද පිරිනැමේ.
කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා කුඩා කළ සිට හඳුනාගෙන ඒවා ඔප් මට්ටම් කිරීමටත් රට පුරා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමටත් මේ තරාවලියෙන් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කරයි. කුඩා අවධියේදීම (අවුරුදු 15) ක්‍රිකට් ක්‍රීඩක දක්ෂතා හඳුනාගෙන ඔවුනට අත දී වසර 4 – 5 ඇතුළත ඔවුන් ජාතික මට්ටමට ගෙන යාමෙන් පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව හා ජාතික ක්‍රීඩාව අතර ඇති පරතරය ද ඉක්මනින්ම අඩුවනු ඇතැයි ද මතිවානන් මහතා කියයි.
මේ තරගාවලියේ මූලික තරග දිස්ත්‍රික්ක තරගාවලිය ලෙසින් සැප්තැම්බර් 1 සිට 12 දක්වා දිස්ත්‍රික්ක කණ්ඩායම් 39ක සහභාගිත්වයෙන් සියලුම දිස්ත්‍රික්කවල දී තරග 90ක් මූලික වටයේදී පැවැත්විණි. යාපනය මන්නාරම, කිළිනොච්චිය, වවුනියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව ඇතුළු සියලුම දිස්ත්‍රික්ක මෙවර මූලික තරගාවලියට ඉදිරිපත් වීම විශේෂත්වයකි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-