‘ගවනර්ස් කප්” සැප්තැම්බර් 30 – ඔක්තෝබර් 15
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ‘ගවනර්ස් කප්” ක්‍රිකට් තරගාවලියේ අවසාන වටයේ තරග මේ මස 30 දින සිට ඔක්තෝබර් 15 දක්වා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වීමට සියලු විධිවිධාන යොදා තිබේ. අවසාන වටයේ තරග පැවැත්වෙන්නේ 20 – 20 ක්‍රමයටය.
ගවනර්ස් කප් (කළින් සරා කුසලාන) මෙවර කණ්ඩායම් 24ක සහභාගිත්වයෙන් ජනවාරි 14 සිට මාර්තු 12 දක්වා දිවයින පුරා පැවැත්විණි. මූලික වටයේදී දස්කම් දැක්වූ කණ්ඩායම් අටක් මෙහි දී ඊළඟ වටයට සුදුසුකම් ලැබීය. එම කණ්ඩායම් නම් ශ්‍රී ලංකා රේගුව, ඕල්ඩ් ධර්මපාලියන්ස්, මහනුවර තරුණ ක්‍රිකට් කණ්ඩායම, මොරටුව ක්‍රීඩා සමාජය, නුගේගොඩ ක්‍රීඩා සමාජය, අඹේපුස්ස ක්‍රීඩා සමාජය, අම්බලන්ගොඩ සිංහ සමාජය සහ ලියෝ.
ඉහත කණ්ඩායම් පසුගිය අප්‍රේල් 1 සිට 19 දක්වා තරගවැදුණු අතර එහි දී කණ්ඩායම් හතරක් අවසාන වටයට සුදුසුකම් ලැබීය. අවසානවටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වනුයේ නුගේගොඩ ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා රේගුව, අඹේපුස්ස ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජයයි. මේ මස 30 ඇරැඹෙන මේ දෙදින තරග පැවැත්වෙන්නේ ලීග් ක්‍රමයකටය. ලීග් ක්‍රමයේ ඉහළම දස්කම් දක්වන කණ්ඩායම ජයග්‍රහයකයන් ලෙස නම් කැරේ.
ගවනර්ස් කප් තරගාවලියට කණ්ඩායම් 24කට අවස්ථාව ලබාදීමෙන් දක්ෂ ක්‍රීඩකයින් 250කට අධික ප්‍රමාණයකට උසස් මට්ටමේ තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව උදා වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව වැඩි ක්‍රීඩක පිරිසකට තරගකාරී තරගාවලියකට සහභාගි වී අත්දැකීම් හා පළපුරුද්ද ලබාදීමෙන් පාසැල් හැරයන දක්ෂ ක්‍රීඩකයනට හා යෞවන ක්‍රිකට් ක්‍රීඩකයනට වැඩි අවස්ථා ලබාදීමත් අරමුණත් මුලකරගෙන මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.
තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම ප්‍රිමියර් ලීග් බී කොටසට උසස් කැරේ. තරගාවලියේ ජයග්‍රහකයනට රුපියල් ලක්ෂ තුනක් හා ගවනර්ස් කුසලානය ද අනුසූරයනට රුපියල් ලක්ෂ එකහමාරක් හා කුසලානය ද පිරිනැමේ.
මේ තරගාවලිය සංවිධානය කිරීමේ තවත් අරමුණයක් වී ඇත්තේ පහළ ශ්‍රේණියේ දක්ෂම කණ්ඩායමකට ඉහත තරගාවලියේ තරග වැදීමට අවස්ථාව දීම හා වැඩි පිරිසකට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීමය.
– බන්දුල මොල්ලිගොඩ –