කාන්තා ක්‍රිකට් දියුණුවට පුළුල් වැඩ පිළිවෙළක්
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දැනට වඩා දියුණු තත්ත්වයකට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධිමත් වැඩ පිළිවෙළක් දැන් ක්‍රියාත්මක කර තිබේ.
අවුරුදු 21 – 27 අතර ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අඩුවීම, ප්‍රමාණවත් ක්‍රිකට් පුහුණුකරුවන් පුහුණුකාරියන් නොමැති වීම විදුහල්පතිවරුන් හා දෙමාපියන්ගේ උනන්දුව අල්පවීම යන කරුණු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට බාධාවක්ව ඇති බවට පර්යේෂණ මගින් කරුණු හෙළිදරව් කරගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා දැන් සාර්ථක විසඳුම් රාශියක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ යෝජනා හා උපදෙස් මත උපසභාපති කේ. මතිවානන් උසස් තාක්ෂණ ප්‍රතිඵල (පුහුණු) කළමනාකරු සයිමන් විල්ස් මහතාගේ අධීක්ෂණය යටතේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණිය අප්සරා තිලකරත්න මහත්මිය සඳහන් කරයි.
දිස්ත්‍රික්ක මට්ටමින් දිසා විසිපහ පුරා කරන ලද පරීක්ෂණවලින් පසුව දිස්ත්‍රික්ක 17ක නව වැඩ පිළිවෙළ සාර්ථකව දියත් කළ බව පෙනීගොස් තිබේ. එම දිස්ත්‍රික්ක නම් බදුල්ල, ගාල්ල, මාතර, මොණරාගල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, කළුතර, ගම්පහ, වවුනියාව, පුත්තලම, අම්පාර, මඩකලපුව, යාපනය, කිළිනොච්චි හා කොළඹය. දීපව්‍යාප්තව පාසැල් 1245ක අධ්‍යාපනයක් සිදු කර ඇති අතර ඉන්පසු 1045ක විදුහල්පතිවරුන් ගුරුවරුන් දෙමාපියන් ක්රීඩාභාර ආචාර්යවරුන් මේ වැඩ පිළිවෙළට සහාය දැක්වීමට එකගව තිබේ.
පාසැල් හා අන්තර් සමාජ මට්ටමින් මෙතෙක් ගෙනගිය කාන්තා ක්‍රිකට් සංවර්ධන වැඩ සටහන ග්‍රාමීය මට්ටමේ සිට ඉහළට ගෙන ඒම සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ යෝජනාවක් අනුව දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ඉදිරියේ දී ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්කයකින් හා පළාතකින් ක්‍රීඩිකාවන් 15 – 30 අතර සංචිත සකස් කර ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් වෙතින් ඔවුනට මනා පුහුණුවක් ලබාදීමට නව වැඩපිළිවෙළින් අපේක්ෂා කැරේ.
මේ ක්‍රීඩිකාවනට බෑග් ක්‍රිකට් ආම්පන්න ක්‍රීඩාංගණ පහසුකම් ක්‍රිකට් ආයතනය සපයන අතර ඇඳුම් පැළඳුම් සපයන්නේ සිංගර් ආයතනයයි. අවුරුදු 23න් පහළ 21න් පහළ සංචිත ද ජාතික නැගී එන හා සංවර්ධන සංචිතය ද ඉදිරියේ දී පිහිටුවනු ඇත. ඔවුනට දීමනාවක් ලබා දීමට ද අපේක්ෂා කැරේ. නැගී එන ක්‍රීඩිකාවන්ගේ සංචිතය පිරිමි ‘ඒ’ සංචිතයට සමාන වේ. මාස හයක කාලයකින් මේ සංචිතවලින් ප්‍රගතියක් දැකගත හැකි වනු ඇතැයි අපේක්ෂා කැරේ. නව ක්‍රමය මගින් ක්‍රීඩිකාවන් හය දෙනෙකු පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර ගනු හැකිවෙතැයි අපේක්ෂා කැරේ. මීළඟ ලෝක කාන්තා ක්‍රිකට් කුසලානයට ප්‍රබලම කණ්ඩායමක් ඉදිරිපත් කළ හැකි වෙතැයි ද බලාපොරොත්තු වේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-