දෙවන ටෙස්ට් තරගයත් විසඳුමක් ලැබෙන තරගයක් වේ
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන පස්දින දිවා – රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 482ට පිළිතුරු ලෙසින් පාකිස්තානය සිය මුල් ඉනිමේ දී ලකුණු 262 ක ට දැවී ගියේය. ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලකුණු 220ක් ඉදිරියෙන් සිටියත් තෙවන දින තරගය නිම වන විට ලංකා කණාඩයම දෙවන ඉනිමේ දී කඩුලු පහක් දැවී ලබා සිටියේ ලකුණු 34ක් පමණකි.
ලංකා කණ්ඩායම තෙවන දින තරගය නිම වන විට පාකිස්තාන දෙවන ඉනිමට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් සිටියේ කඩුලු පහක් පමණක් ඉතිරිවය. ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී පාකිස්තානය 262ක ට දවා ලකුණු 220ක් ඉදිරියෙන් සිටි අවස්ථාවේ ඉනිමක පරාජයෙන් බේරීමට නැවත වතාවක් පාකිස්තානය පන්දුවට පහරදීමට යැවීමට අවස්ථාව තිබුණත් එසේ සිදු නොකර තමන්ම පන්දුවට පහරදීමට පියවර ගත්තේ ප්‍රධාන වශයෙන්ම සිව්වන දින (9) සවස හා පස්වන දින පන්දුවට පහරදීම අසීරු කාර්යයක් වන හෙයිනි.
කෙසේ වුවද මෙවැනි තණ තිල්ලක ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු 300කින් පමණ ඉදිරියෙන් සිටීමට අවස්ථාව ලැබෙන්නේ නම් එය විශාල ලකුණු ප්‍රමාණයකි.
දෙවන දින තරගය නතර කරන විට සිය මුල් ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබාසිටි පාකිස්තාන කණ්ඩායම තෙවන දින තරගය නිමවීමට පැයක් ඉතිරිව තිබියදී සියලුම ක්‍රීඩකයන් දැවී තවත් එක් කළේ ලකුණු 211ක් පමණෙකි. (පාකිස්තාන මුල් ඉනිම 262යි) තම 27 වන අර්ධ ශතකය ලබාගත අසාර් අලි ලකුණු 59ක් රැස්කළේ පන්දු 128ක දී හතරේ පහර හයක් සමගිනි. ඊට අමතර හැරිස් සොහේල් පන්දු 135 ක දී හයේ දෙකක් හතරේ හතරක් සමග ලකුණු 56ක් ලබාගත්තේය.
ලංකා පන්දු යවන්නන් අතුරින් නැවත වතාවක් කැපී පෙනුණු දඟ පන්දු යවන රංගන හේරත් ලකුණු 84ක ට කඩුලු තුනක් ද දිල්රුවන් පෙරේරා ලකුණු 72ක ට කඩුලු තුනක් ද සුරංග ලක්මාල් ලකුණු 41ක ට කඩුලු දෙකක් ද නවක ක්‍රීඩක ළහිරු ගමගේ ලකුණු 38ක ට කඩුලු දෙකක් ද දවාලූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ දී මුහුණ දුන්නේ ඕවර 14.3ක ට පමණි. ඒ අතරතුර ප්‍රබල කඩුලු පහක් දවා ගැනීම පාකිස්තාන පන්දු යවන්නන් ලැබූ ජයග්‍රහණයකි. මෙහිදී කැපී පෙනුණු මොහමට් රියාස් ලකුණු දහයකට කඩුලු තුනක් දවාලූවේ ඕවර 3.3ක් පමණක් යවමිනි. මීට අමතරව මොහමට් අබ්බාස් ලකුණු හයකට කඩුල්ලක් ද යසීර් ෂා ලකුණු 17ක ට කඩුල්ලක් ද දවාගත්හ. සධීර සමරවික්‍රම ලකුණු 13ක් ලැබූ අතර සෙසු පිතිකරුවනට කෞෂල්‍ය සිල්වා (03) දිමුත් කරුණාරත්න (07) සුරංග ලක්මාල් (01) හා නායක දිනේෂ් චන්දිමාල් (00) ලකුණු දහයේ සීමවා ඉක්මවීමට අවස්ථාව උදාවුයේ නොමැත.
කෞෂල්‍ය සිල්වා වේග පන්දු යවන මොහමඩ් අබ්බාස්ගේ ඉතාමත් හොඳ පන්දුවකට කඩුලු රකින සෆ්රාස්ට උඩ පන්දුවක් දී දැවී ගිය අතර දිමුත් කරුණාරතන දැවී ගියේ මීට කළින් සිදු වූ ආකාරයට වහාබ් රියාස්ගේ පන්දුවක් කඩුල්ලෙන් පිටතට යද්දී කරුණාරත්නගේ පිත්තේ එය දැවටී නැවත කඩුල්ලේ වැදී අවාසනාවන්ත අයුරිනි. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී තෙවන දින අවසාන කඩුලු හතර දැවී ගියේ ලකුණු 12ක් වැනි අඩු සංඛ්‍යාවකටය.
රෝස පන්දුවෙන් ශ්‍රී ලංකාව සහභාගී වන ප්‍රථම දිවා – රාත්‍රී තරගය තෙවන දින නිමවන විට අනිවාර්යයෙන්ම තරගයේ විසඳුමක් ලැබෙන තරගයක් බවට පත්ව තිබිණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-