ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයත්, තරගාවලියත් විශිෂ්ට ලෙස ජයගනී
පසුගිය මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැවැති දුර්වල ක්‍රීඩා විලාශයන් නිමාවට පත්කරමින් ලංකා කණ්ඩායම ඩුබායි හි පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයත්, ටෙස්ට් තරගාවලියත් අවසාන දින පැයක කාලයකදී නිමකර ජයග්‍රහණයන් අත් කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව කාල පරිච්ඡේදයක් ආරම්භ කරමිනි.
පාකිස්තාන කණ්ඩායමේ දෙවන ඉනිමේ අවසාන පිතිකරුවන් පස්දෙනා අවසාන දින පැයක කාලයක් තුළ ලකුණු 50කට දවාලමින් ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයද ලකුණු 68කින් ජයගත්තේ මෙදින පැය පහක පමණ කාලයක් ඉතිරිව තිබියදීය.
දෙවන ටෙස්ට් තරගයේදී (දිවා-රාත්‍රී) පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 316ක් අවශ්‍ය වූ අතර, ඔවුන් ලබාගත්තේ 248කි. මෙහිදී ප්‍රබල පන්දු යැවීමක නිරත වූ දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ලකුණු 98ක ට දවාලූ කඩුලු සංඛ්‍යාව පහකි. රංගන හේරත් ලකුණු 57ක ට කඩුලු දෙකක් ද, ලක්මාල් ලකුණු 35ක ට කඩුල්ලක් ද, ළහිරු ගමගේ ලකුණු 29ක ට කඩුල්ලක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 21ක ට කඩුල්ලක් ද දවාලූහ.
ප්‍රථම ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 93ක් ද දෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 196ක් ද රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු, දිමුත් කරුණාරත්න දෙවන ටෙස්ට් තරගයේ වීරයා ලෙසත් තරගාවලියේ වීරයා ලෙසත් නම් කැරිණි.
පාකිස්තාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දක්වා තරගාවලි නවයකට සහභාගි වී තරගාවලි පහක් ජයගෙන තරගාවලි හතරක් ජය-පැරැදුමින් තොරව කෙළවර කර තිබිණි. මෙවර ඔවුන් ටෙස්ට් තරගාවලියකදී එහිදී පරාජයට පත්වූයේ ප්‍රථම වතාවටය. එමෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 16න් දැන් පාකිස්තානය තරගාවලි නවයක් ද, ශ්‍රී ලංකාව තරගාවලි හතරක් ද, තරගාවලි තුනක් ජය-පැරැදුමින් තොරව ද කෙළවර කර තිබේ. ඉන්දියාව වෙතින් ටෙස්ට් තරගාවලිය 3-0කින් පැරැදී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පෙර බංග්ලාදේශය හා සිම්බාබ්වේ ද සමඟ එතරම්ම දස්කම් පා නොසිටි හෙයින් මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යනවිට ප්‍රකාශයට පත්වූයේ පාකිස්තානය තරගාවලිය ජයගන්නා බවය. එවැනි වාතාවරණයක ශ්‍රී ලංකාව ලත් මේ ජයග්‍රහණය විශිෂ්ටය.
ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් තරගයෙන් පසුව ප්‍රකාශ කළේ සැළසුම් සහගතව සියලු ක්‍රීඩකයන් දැඩි උනන්දුවකින් ක්‍රීඩා කිරීම නිසා මේ ජයග්‍රහණය අත් වූ බවය. සිව්වන දින තරගයේදී පින්න මත පන්දුව දඟකැවීමත්, පන්දු රැකීමත් අපහසු වූ බව පැවසූ චන්දිමාල් එහෙත් පස්වන දිනයේ උදය වනවිට තරගය ජයගත හැකි බවට ක්‍රීඩකයන් තුළ දැඩි විශ්වාසයක් පැවැති බව ද කීවේය.
පාකිස්තාන කණ්ඩායම ලකුණු 316ක් හඹා යද්දී ලකුණු 52ක ට කඩුලු පහක් දැවී සිටියදී අසාර් සාෆික් (ලකුණු 112යි මිනිත්තු 251යි පන්දු 176යි හතරේ 10යි) සහ නායක, සෆ්රාස් අහ්මඩ් (ලකුණු 68යි පන්දු 130යි හතරේ 05යි) එකතුව හයවන කඩුල්ලට ලකුණු 176ක් රැස් කළත් දිල්රුවන් පෙරේරා මේ සබඳතාව මුළු ලකුණු 225 දී පාකිස්තාන නායකයා දවාලීමෙන් ඉනිම කඩා වැටීම ඇරැඹිණි.
දිල්රුවන් පෙරේරා මෙදින ලබාගත් කඩුලු පහ පිට පිට ම ඉනිම තුනකදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු විසින් කඩුලු පහක් දවාලූ තෙවන වතාව ලෙසද ඉතිහාසයට එක්වේ. දෙරට අතර එක්දින තරගාවලිය 13 වැනිදා ඩුබායි හි දී ඇරැඹේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-