පාකිස්තානය ප්‍රථම එක්දින තරගය ජයගනී
බාබර් අසාම් (103) සහ ෂොයිබ් මලික්ගේ (81) දක්ෂ පිතිහරඹයත් රුමාන් රයිස් සහ හසන් අලී කඩුලු තුන බැගින් දවාලීමත් මත පාකිස්තානය ප්‍රථම එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පරදවා ලකුණු 83ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
ඩුබායි පැවැති මේ තරගයේ දී මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6ක ට ලබාගත් ලකුණු 292ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු අටක් දැවී ලබාගත්තේ ලකුණු 209කි. පාකිස්තාන පිතිකරුවන් සැලැස්මක් අනුව පන්දුවට පහරදෙමින් ඉනිමේ අඩක් යනතුරු ඕවරයකට හතර බැගින් වන සේද ඕවර 40ක් වන විට ලකුණු 200 සීමාව ඉක්මවමින් ඕවරයකට පහ බැගින් ද ලබා ඕවර අවසාන ඕවර 10 දී ලකුණු 89ක් ලබාගනිමින් ඕවරයකට සාමාන්‍ය ලකුණු හය අසලටම ලඟා වූහ.
උපුල් තරංග කාසියේ වාසිය දිනා තීරණය කළේ පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීමටය. පාකිස්තානයට ප්‍රබල තත්ත්වයකට ඒමට මුල් වූයේ සිව්වන කඩුල්ලට බාබර් අසාම් සහ ෂොයිබ් මලික් සිව්වන කඩුල්ලට පන්දු 114ක දී එක් කළ ලකුණු 139 කය. මෙහි දී සිය හයවන එක්දින ශතකය ලබාගත් බාබර් අසාම් පන්දු 131 දී හතරේ පහර පහක් සමග ලකුණු 103ක් ද ෂොයිබ් මලික් පන්දු 61ක දී හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 81ක් ද රැස් කළහ.
ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙනු වේගපන්දු යවන සුරංග ලක්මාල් සිය ඕවර 10 දී ලකුණු 47ක ට කඩුලු දෙකක් දවාලූවේය. ශ්‍රී ලංකා පන්දු රැකීම දුරවල නොවූවත් අසාම්ගේ හා මලික්ගේ දිගු සබදතාව මත පාකිස්තාන කණ්ඩායමට ලකුණු 300 සීමාව ආසන්නයට යාමට අවස්ථාව උදාවිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ සිට ජයග්‍රහණයට අවශ්‍ය වූ ඕවරයකට සාමාන්‍ය ලකුණු හයේ සංඛ්‍යාව තබා ගැනීමට නිරන්තරයෙන් උත්සහ කළත් දික්වැල්ල (19) මුළු ලකුණු 30 දීත් දිනේෂ් චන්දිමාල් (04) මුළු ලකුණු 34 දීත් නායක උපුල් තරංග (18) මුළු ලකුණු 55දීත් කුසල් මෙන්ඩිස් (02) මුළු ලකුණු 67 දීත් මිලින්ද සිරිවර්ධන (00) මුළු ලකුණු 67දීත් දැවී යාම මත ඉනිම ආරම්භයේ දී ම ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු සුන් විණි.
ළහිරු තිරිමාන්න (53) සහ තිසර පෙරේරා (21) ශ්‍රී ලංකා හයවන කඩුල්ලට ලකුණු 64ක් රැස් කළත් ඒ වන විට අවශ්‍යව තිබූ ලකුණු රැස් කිරීමේ දී දළ වේගය බෙහෙවින් ඉහළ ගොස් තිබිණි. අකිල ධනංජය (නොදැවී 50) සහ ජෙෆ්රි වැන්ඩසෙ (25) අග භාගයේ අටවන කඩුල්ලට ඕවර 21.5ක කඩුල්ලේ සිට ලකුණු 68ක් පමණ ලැබීමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 200 සීමාව අසලටම ඒමට අවස්ථාව ලැබුණි. ධනංජය මෙදින ලැබුවේ සිය ප්‍රථම අර්ධ ශතකයයි. රුමාන් රයිෂ් ලකුණු 49ක ට කඩුලු 3ක් ද හසන් අලී ලකුණු 36ක ට කඩුලු 3ක් ද දවාලීමෙන් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනි.
කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත එක්දින ඕවර 50 තරග පහක තරගාවලියේ දෙවන එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සඳුදා (16 දා) අබුඩාබි හි දී ය. ශ්‍රී ලංකාව මේ තරගයට මුහුණු දීමේ දී තම සැලැස්ම කිහිපය සාර්ථක අයුරින් වෙනස් කර ගැනීමට සිදු වේ. එමෙන්ම ලකුණු අතරට නොපැමිණි ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් අනිවාර්යෙන්ම ලකුණු අතරට පිවිසිය යුතු වේ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-