පාකිස්තානය කඩුලු හතකින් ජයගනී
බන්දුල මොල්ලිගොඩ අබුඩාබි සිට ලියයි….
අබුඩාබි හි පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු හතක ජයක් හිමිකරගත් පාකිස්තානය තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දැනටම තරග 3 – 0 කින් ඉදිරියෙන් පසු වේ.
ශ්‍රී ලංකාව ඕවර 48 ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 208ට පිළිතුරු ලෙසින් පාකිස්තානය කඩුලු තුනක් දැවී ලකුණු 209ක් ලබමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේය. කණ්ඩායම් දෙක අතර මීළඟ එක්දින තරග දෙක පැවැත්වෙන්නේ මේ මස 20 හා 23 දිනවල සාජා නගරයේදීය.
ලකුණු 209ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායද්දී ප්‍රථම වරට එක්දින තරගයකට සහභාගි වන 21 හැවිරිදි ඉමාම් උල්හක් ලකුණු 100ක් ලබා ගැනීමට සමත්විණි. ඉමාම් උල්හක් පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉන්සමාම් උල්හක්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයාය. ඉමාම් ලකුණු 89ක් ලබා සිටිය දී දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල උඩපන්දුවක් අල්ලා දැවී ගියේය. පිතිකරු ක්‍රීඩා මණ්ඩපයට යද්දී තරග විනිසුරු නැවත ප්‍රතිරූපනය බලා උඩ පන්දුව බිම වැදී ඇල්ලු බවට තීරණය කිරීමෙන් ඔහුට කඩුල්ලේ සිටිමට අවස්ථාව ලැබිණි. ඔහු පන්දු 125ක දී හයේ දෙකක් හතරේ පහක් සහ තම ප්‍රථම තරගයේම මංගල ශතකය ලැබීය. ඔහු තරගයේ වීරයා ද විය.
මීට අමතරව සමාන් ලකුණු 29ක් ද (පන්දු 40යි, හතරේ 2යි, හයේ 1යි) බාබර් අසාම් පන්දු 39ක දී හතරේ පහරක් සමග ලකුණු 30ක් ද මොහමඩ් හෆීස් නොදැවී ලකුණු 34ක් ද (පන්දු 51යි, හතරේ හතරයි) ලැබූහ. තිසර පෙරේරා ඕවර හතරක් යවා ලකුණු 22ක ට කඩුල්ලක් (ඉමාම් හක්) දවාලුවේය.
තරගයෙන් පසුව පාකිස්තාන නායක අස්රෆ් අහමඩ් ඉමාම් අහමඩ්ගේ පන්දුවට පහර දීමත් (100) හසන් අලීගේ පන්දු යැවීමත් (ලකුණු 34ක ට කඩුලු 5යි) තම ජයග්‍රහණයට පහසු වූ බව ප්‍රකාශ කළේය.
එක්දින තරගාවලියේ ප්‍රථම වරට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය. ලංකා මුල් විකට්ටුවට නායක උපුල් තරංග (ලකුණු 61යි, පන්දු 80යි, හතරේ පහයි) සහ නිරෝෂන් දික්වැල්ල (ලකුණු 18යි, පන්දු 26යි, හතරේ 2යි) ඕවර 10.5ක දී ලබාගත් ලකුණු 59 ලංකා කණ්ඩායමේ වැඩිම සහ වේගවත්ම ලකුණු සංඛ්‍යාවය. මෙහි වඩාත් ආක්‍රමණශීලි පිතිකරුවා වූ නායක තරංග ලංකා පිල ඕවර 9ක දී කිසිවෙකු නොදැවී ලකුණු 50 ලබන විට පෞද්ගලිකව ලකුණු 36ක් ලබා සිටියේ පන්දු 33ක දීය.
දික්වැල්ල මුළු ලකුණු 59 දී දැවී යාමෙන් පසු අංක 3 පිතිකරුගේ ස්ථානයට පැමිණි දිනේෂ් චන්දිමාල් පරීක්ෂාකාරී පිතිවෙතක් අනුගමනය කරමින් සෙමෙන් ලකුණු රැස් කිරීම මත ලංකා ලකුණු රැස් කිරීමේ වේගය අඩාල විණි. ශ්‍රි ලංකාව ඕවර 24ක දී කඩුලු එකකට ලකුණු 101ක් ලබා ස්ථාවර තත්ත්වයක පසු වුවත් ඉන් පසුව ඕවර 24 තුළදී සෙසු ක්‍රීඩකයින් නව දෙනාම දැවී ගියේ තවත් ලකුණු 108ක් පමණක් එක්වද්දීය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා පමණක් පහසුවෙන් පාකිස්තාන පන්දු යවන්නන්ට මුහුණු දෙන්නේ සෙසු පිතිකරුවන් මේ කාර්යය ඉටු කළේ අසීරුතාවයකිනි.
දිනේෂ් චන්දිමාල් මුළු ලකුණු 101ක දී ලංකා දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 49ක ට මුහුණු දී හතරේ පහරක් සමග ලකුණු 19ක් පමණක් ලබා ගනිමිනි. ලංකා ඉනිමේ අඩක් ද (ඕවර 25.1) ගෙවී තිබිණි.
නායක උපුල් තරංග මුළු ලකුණු 112 දී සදාබ් ඛාන්ගේ දුර්වල පන්දුවකට අපරික්ෂාකාරී පහරක් එල්ල කර සාමන්ට උඩ පන්දුවක් දී දැවී යාමත් සමග ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉමහත් බලාපොරොත්තු තබා සිටින මැද පෙළ පිතිකරුවන් ලෙස පිටියට පිවිසී චාමර කපුගෙදර (ලකුණු 13යි, පන්දු 30යි) ළහිරු තිරිමාන්න (ලකුණු 28යි, පන්දු 45යි) හා මිලින්ද සිරිවර්ධන (ලකුණු 2යි) මුළු ලකුණු 137 – 141 දක්වා ලකුණු හතරක් තුළ කඩුලු තුනක් දැවී යාමෙන් ලකුණු 250 ඉක්මවීමේ ලංකා බලාපොරොත්තු ද නිමාවට පත් විණි. සිරිවර්ධන ලකුණු 10 ඉක්මවීමට නොහැකිව මේ තරගාවලියේ දී අසාර්ථක වූයේ තෙවන වතාවටය.
ශ්‍රී ලංකා නවවන කඩුල්ලට තිසර පෙරේරා සමග එක් වූ දුෂ්මන්ත, චමිර පන්දු 28ක දී ලකුණු 42ක් රැස් කිරීමෙන් ලංකා කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවීමට අවස්ථාව උදාවිණි. තිසර පෙරේරා පන්දු 37ක ට මුහුණ දී හතරේ පහක් සමග ලකුණු 38ක් ද චමීර පන්දු 12ක දී හතරේ පහරක් සමග ලකුණු 10ක් ද ලබාගත්හ. තිසර දැවී ගියේ අවසාන ඕවර තුනේ ඉක්මන් කෙටි ලකුණු ලැබීමට ගොස් දුවද්දී දැවීමට අසුවීමෙනි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව | ලකුණු | |
නිරෝෂන් දික්වැල්ල බෝ. හසන් අලි | 18 | |
උපුල් තරංග ඇ. සමාන් බෝ. ෂඩාබ් ඛාන් | 61 | |
දිනේෂ් චන්දිමාල් එල්. බී. ඩබ්ලිව්. බෝ ෂඩාබ් ඛාන් | 19 | |
චාමර කපුගෙදර ඇ. සහ බෝ හසන් අලි | 18 | |
ළහිරු තිරිමාන්න ඇ. සෆ්රාස් අහමඩ් බෝ. හෆීස් | 28 | |
මිලින්ද සිරිවර්ධන ඇ. සමාන් බෝ ජුනයිඩ් ඛාන් | 02 | |
ජෙෆ්රි වැන්ඩසෙ ඇ. සෆ්රාස් අහමඩ් බෝ හසන් අලී | 00 | |
තිසර පෙරේරා දුවද්දී දැවී ගියා | 38 | |
අකිල ධනංජය ඇ. සෆ්රාස් අහමඩ් බෝ හසන් අලී | 01 | |
දුෂ්මන්ත චමීර ඇ. සෆ්රාස් අහමඩ් බෝ හසන් අලී | 10 | |
ළහිරු ගමගේ නොදැවී | 00 | |
අතිරේක | 13 | |
එකතුව ඕවර 48.2 දී සියළු දෙනා දැවී | 208 | |
කඩුලු බිඳවැටීම 59, 101,112, 137, 140, 141, 162, 163, 205, 208 | ||
පන්දු යැවීම – ජුනයිඩ් ඛාන් 8 – 0 – 32 – 1, රුමාන් රයිස් 7.2 – 0 – 52 – 0, මොහොමඩ් හෆීස් 8 – 0 – 39 – 1, හසන් අලි 10 – 0 – 34 – 5, ෆාහිම් අෂ්රෆ් – 5 – 0 – 10 – 0, ෂඩාබ් ඛාන් 10 – 0 – 37 – 2 | ||
පාකිස්තානය | ලකුණු | |
ඉමාම් උල්හක් ඇ. දික්වැල්ල බෝ. තිසර පෙරේරා | 100 | |
ෆකාර් සමාන් ස්ටම්ප්. දික්වැල්ල බෝ. වැන්ඩසෙ | 29 | |
බාබර් අසාම් බෝ. ගමගේ | 30 | |
හෆීස් මොහමඩ් නොදැවී | 34 | |
ෂොයිබ් මලික් නොදැවී | 00 | |
අතිරේක | 16 | |
එකතුව කඩුලු 3ක ට ඕවර 42.3යි | 209 | |
කඩුලු බිඳ වැටීම – 78, 144, 203 | ||
පන්දු යැවීම – ළහිරු ගමගේ 7 – 1 -1 35 – 1, දුෂ්මන්ත චමීර 10 – 0 – 33 – 0, අකිල ධනංජය 10 – 0 – 57 – 0, වැන්ඩසෙ 9.3 – 1 – 43 – 1, සිරිවර්ධන 2 – 0 – 22 – 1, තිසර පෙරේරා 4 – 0 – 22 – 1 | ||
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-