පරාජයෙන් ගැලවීම පස්වන එක්දින තරගයේ අපේක්ෂාවයි
බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි….
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි පස්වන එක්දින ක්‍රිකට් තරගයට සඳුදා (23) සවස සහභාගි වන්නේ එක්දින තරගාවලියේ තරගයකින් හෝ ජයගැනිමේ අපේක්ෂාවෙන් හා පිට පිටම තරග 11කින් පරාජයට පත්ව සිටින අවස්ථාවේ එය වළකා ගැනීමේ අරමුණෙනි.
ඩුබායි, අබුඩාබි හා සාජා හි පැවැති තරග සියල්ල (හතර) පරාජයට පත් වූයේ පිතිකරුවන් ලකුණු අතර නොපැමිණ ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක් නොවීමෙනි. ලංකා ක්‍රීඩකයනගේ කැපවීම සහ උනන්දුව ප්‍රමාණවත් නොවීම මෙහි හතර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වන බව මෙහි බොහෝ දෙනාගේ අදහසයි.
ලංකා ඉදිරි පෙළ සහ මැද පෙළ මේ එක්දින තරගාවලිය පුරාම අසාර්ථක වූ අතර ලකුණු 200 සීමාව අසළට බොහෝ විට ළඟා වූයේ අග පෙළ පිතිකරුවන්ගේ ක්ෂණික ආක්‍රමණවලිනි. විශේෂයෙන්ම සාජා වැනි තණතිලිවල දී ලකුණු 300ක් වැනි ප්‍රමාණයකට යාම පහසු කාර්යයක් වන බව අතීතයේ මෙහි පැවැති තරගවල දී සනාථව තිබේ.
පස්වන එක්දින තරගයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ උපුල් තරංග (නායක), නිරොෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, සීක්කුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දුය. පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ වේගපන්දු යවන ජුනයිඩ් ඛාන් ඉවත් කර තිබේ.
නිරෝෂන් දික්වැල්ල ද තරගාවලිය පුරා (එක්දින) බලාපොරොත්තු තරම් ලකුණු ප්‍රමාණයකට නොපැමිණීම හොඳ ආරම්භයකට බාධාවක් විය. චන්දිමාල්, තිරිමාන්න, සධීර සමරවික්‍රම හා මිලින්ද සිරිවර්ධන ලංකා මැදපෙළ ශක්තිමත් කිරීම අනිවාර්යය වන අතර, ඔවුන් අසාර්ථක වුවහොත් නැවත වරක් ලංකා කණ්ඩායම ද අසාර්ථක වනු ඇත.
වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු පස්වන එක්දින තරගයට නම් කර සිටින අතර, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ සහ චාමර කපුගෙදර අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර තිබිණ.
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-