ශ්‍රී ලංකා ඒ – බ. ඉ. කොදෙව් ඒ එක්දින තරග ඇරඹේ
බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම මේ සතියේ දී (නොවැම්බර් 1, 3 සහ 5) දිනවල බටහිර ඉන්දිය කොදෙව් ඒ කණ්ඩායම සමග එක්දින තරග තුනකට සහභාගි වෙති.
ප්‍රථම හා දෙවන එක්දින තරග දෙක නොවැම්බර් 1 සහ 3 දිනයන්හි කිංස්ටන් හී දීත් තෙවන එක්දින තරගය ෆ්ලොරන්ස් හෝල් ක්‍රීඩාංගණයේත් පැවැත්වීමට නියමිතය. නිල නොවන ටෙස්ට් තරග තුන 2 – 1 කින් ජය ලැබූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක් දින තරගාවලියේ දී ද විශේෂ දක්ෂතා පෙන්වනු ඇතැයි අපේක්ෂිතය.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, දසුන් ශානක හා රොෂේන් සිල්වා ලංකා පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටිති. පන්දු යවන්නන් අතර පෙරමුණින් සිටින්නේ මිලින්ද පුෂ්ප කුමාර සහ ෂෙහාන් ජයසූරියයි. ෂෙහාන් ජයසූරිය ආක්‍රමණශීලි පිතිකරුවෙකු ලෙස ද ප්‍රචලිතය. ශ්‍රි ලංකා පන්දු යවන්නන් අතුරින් දඟ පන්දු යවන්නන් කොදෙව් සංචාරයන් හීදී විශේෂ දක්ෂතා පෙන්වා ඇති හෙයින් එක්දින සීමිත ඕවර තරගාවලියේ දී ද කොදෙව් ඒ කණ්ඩායමට ඔවුන් ප්‍රබලම තර්ජනයක් වනු නිසැකය.
ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම 2017 කොදෙව් සංචාරයේ දී කොදෙව් ක්‍රීඩකයන් මෙකේ දස්කම් දැක්වීමට සමත්ව ඇත්තේ ඔක්තෝබර් 11 සිට 14 දක්වා පැවැති ප්‍රථම නිල නොවන ටෙස්ට් තරගයේ දී පමණෙකි. එම තරගයේ දී කොදෙව් ඒ පිල ඉනිමක හා ලකුණු 13ක පහසු ජයක් ලැබීය. (කොදෙව් ඒ මුල් ඉනිම කඩුලු 8ට 364යි ශ්‍රී ලංකා ඒ මුල් ඉනිම 212යි. දෙවැනි ඉනිම 139යි.)
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙචන හා තුන්වන ටෙස්ට් තරග දෙක ජයගත්තේ ඉතාමත් පහසු ආකාරයෙනි. දෙවන නිල නොවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 280කින් ද තෙවන තරගය කඩුලු 10කින්ද ශ්‍රී ලංකාව ජය ලැබීය. දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව මුල් ඉනිමේ දී ලකුණු 294ක් ද දෙවන ඉනිමේ දී කඩුලු 9ක ට ලකුණු 267ක් ද ලැබූ අතර කොදෙව් ඒ පිලට ලබාගත හැකි වූයේ මුල් ඉනිමේ දී 137ක් සහ දෙවන ඉනිමේ දී 144ක් පමණෙකි.
තෙවන ටෙස්ට් තරගයේ දී කොදෙව් පිල මුල් ඉනිමේ දී 181කට හා දෙවන ඉනිමේ දී 118කට දැවී ගිය අතර , ලංකා ඒ පිල මුල් ඉනිමේ දී ලකුණු 273ක් ලබා පසුව දෙවන ඉනිමේ අවශ්‍ය වූ ලකුණු 27 කිසිවෙකු නොදැවී රැස් කළේය.
මේ තරගවලියේ දී නායක ධනංජයද සිල්වා ශතකයක් හා අර්ධ ශතක දෙකක් ද දසුන් ශානක ශතකයක් හා අර්ධ ශතකයක් ද රොෂේන් සිල්වා අර්ධ ශතක දෙකක් ද ලැබූහ. මිලින්ද පුෂ්පකුමාර තරග තුනේ දී කඩුලු 23ක් ද ෂෙහාන් ජයසූරිය කඩුලු 13ක් ද දවාලූහ. දසුන් ෂානක කොදෙව් සංචාරය අතරතුර පාකිස්තානය හා තරග කිරීමට ඩුබායි වෙත ගෙන්වා ලන්නා ලදී.
කොදෙව් ඒ සමග තරග වදින ශ්‍රී ලංකා ඒ සංචිතය
ධනංජය ද සිල්වා (නායක) චරිත් අසලංක, රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, රොෂෙන් සිල්වා, සධීර සමරවික්‍රම, මිලින්ද පුෂ්පකුමාර, වනිදු හසරංග, අමිල අපොන්සු, ළහිරු කුමාර, විමුක්ති පෙරේරා
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-