ආසියානු 19න් පහළ තරගාවලියේ පෙරැළි රැසක්
ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරගාවලියන්ට සුදුසුකම් ලබතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඉන්දීය හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම මූලික වටයෙන් ඉවත්වීමට සිදුව ඇත.
අවසාන පූර්ව තරග දෙකට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය සහ බංග්ලාදේශයත් (නොවැම්බර් 16) නේපාලය හා ඇෆ්ගනිස්තානයත්ය (නොවැම්බර් 17) මෙම තරග දෙකත් අවසාන තරගයත් (නොවැම්බර් 19) ක්වාලාලම්පූර්හි කින්රාරාහි ඇකඩමි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අට අතුරින් අපරාජිත කණ්ඩායම වූයේ බංග්ලාදේශයයි. ඔවුන් සහභාගී වූ තරග තුනම ජයගෙන ‘ඒ’ කොටසේ ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ඉන්දියාව ‘ඒ’ කොටසේ සහභාගි වූ තරග අතුරින් බංග්ලාදේශයට කඩුලු අටකින් ද නේපාලයට ලකුණු 19කින් ද පරාජයට පත්විය. කිහිපවරක් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සූරයන් වී ලෝක කුසලාන අවුරුදු 19න් පහළ සූරයන් පවා වූ ඉන්දියාව මෙසේ නේපලයට හා බංග්ලාදේශයට පරාජය වීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කරුණකි.
‘බී’ කොටසට අයත් වූ ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග තුනෙන් එක්සත් අරාබි එමිර් කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය පරාජයට පත්කළහ. ශ්‍රී ලංකාව පරාජයට පත් වූ එකම තරගය වූයේ පාකිස්තානය වෙතින් කඩුලු 03කින් පරාජයට පත්වීමය. ‘බී’ කොටසින් අවසාන පූර්ව තරග දෙකට තේරුණු පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම මූලික වටයේ දී ජයගත්තේ තරග දෙකකින් පමණි. එහෙත් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවූයේ ලකුණු රැස් කිරීමේ දළ වේගයෙනි.
පාකිස්තානය හැර අවසාන පූර්ව තරග දෙකට තේරුණු සෙසු කණ්ඩායම් තුනම (බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා නේපාලය) එතරම් ප්‍රබල කණ්ඩායම් නොවීමෙන් පෙනී යන්නේ එම රටවල තරුණ ක්‍රීඩකයන්ගේ ඉදිරියට ඒමය.
– බන්දුල මොල්ලිගොඩ –