ශ්‍රී ලංකාව මුල් ඉනිම 294යි. ඉන්දියාව දෙවන ඉනිම 171/1යි
කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දියාව මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 172ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිව්වන දින දිවා ආහාරයට මඳකට පසු තම මුල් ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 294ක් ලබා මුල් ඉනිමේදී ලකුණු 122ක් ඉදිරියෙන් සිටියේය. දිනය නිම වනවිට ඉන්දියාව දෙවන ඉනිමේදී කඩුලු එකකට ලකුණු 171ක් ලබා, ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියේ තවත් කඩුලු නවයක් ඉතිරිව තිබියදී ය.
තරගයේ අවසාන දින (20 වැනි සඳුදා) මේ තරගයෙන් විසඳුමක් ලැබෙතැයි අපේක්ෂා කළ හැකි නොවුවත්, ඉන්දියාව දෙවන ඉනිමේදී ලකුණු 200ක් පමණ ඉදිරියෙන් සිට ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබා දුනහොත් මෙහි ජයග්‍රාහකයකු දැකීමට අවස්ථාව උදාවන්නේ ය. ඒ සඳහා යහපත් කාලගුණයක් ද බලපෑ යුතු වේ.
ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු හතරකට ලකුණු 165ක් ලෙස සිව්වන දින තරගය ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකා නායක, දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල පස්වන කඩුල්ලට ඕවර 14ක් තුළ ලකුණු 66ක් වේගයෙන් ලබාගත්හ. ශ්‍රී ලංකාව කඩුලු 4ක ට ලකුණු 200ක් ලබා ප්‍රබල තත්ත්වයකට පත් වූ අවස්ථාවේ දික්වැල්ල ලකුණු 35ක ට (පන්දු 38යි හතරේ 05යි) සාමිගේ පන්දුවකට දැවී ගියේය. දසුන් ශානක පන්දු තුනකට පමණක් මුහුණ දී ලකුණු නොලබා දැවී ගියේ බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමෙන්, මුළු ලකුණු 201 දී ය. මේ මුළු ලකුණු සංඛ්යාවේම චන්දිමාල් ද ලකුණු 28ක ට (පන්දු 57යි හතරේ 03යි) දැවී ගියේ සාමිගේ පන්දුවකට සාහාට උඩපන්දුවක් දීමෙනි. මුළු ලකුණු 200 සිට 201 දක්වා ලකුණක් තුළ කඩුලු තුනක් දැවී යාමෙන් ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට තිබූ අවස්ථාව මග හැරිණි.
එහෙත්, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා පිතිකරුවන් ලෙස ක්‍රියාකරමින්, ඉන්දියාවට නැවත තරගයට අවතීර්ණවීමට අවස්ථාව නොතබමින්, ශ්‍රී ලංකා අටවන කඩුල්ලට අගනා ලකුණු 43ක් එක් කළහ. ශ්‍රී ලංකාව මුළු ලකුණු 244 දී දිල්රුවන් පෙරේරා ලකුණු පහකට (පන්දු 34යි) දැවී ගියේය. ශ්‍රී ලංකා නව වන කඩුල්ලට රංගන හේරත් හා සුරංග ලක්මාල් ඕවර 15.3ක දී ලකුණු 46ක් එක් කරමින් ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු සියය සීමාව ඉක්මවීය.
රංගන හේරත් මෙදින අගනා ලකුණු 67ක් (පන්දු 105යි හතරේ නවයයි) ලැබූ අතර, එය ඔහුගේ තෙවන ටෙස්ට් අර්ධ ශතකයයි. රංගන හේරත් පිත්තෙන් පෙන්වූ මේ දස්කම් මත ඉන්දියාව තරගයට අවතීර්ණවීමට ගත් උත්සාහය මග හැරිණි. සුරංග ලක්මාල් පන්දු 37ක දී හතරේ තුනක් සමඟ ලකුණු 16ක් ලැබීය. තම උපන් නගරයේ ප්‍රබල පන්දු යැවීමක නිරත වූ මොහමඩ් සාමි ලකුණු 100ක ට කඩුලු හතරක් දවාලීය. මීට අමතරව, බුවනේෂ්වර් කුමාර් ලකුණු 88ක ට කඩුලු 4ක් ද, උමේෂ් යදව් ලකුණු 79ක ට කඩුලු 2ක් ද දවාලූහ.
ලකුණු 122ක් පිටුපසින් සිට දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලොකේෂ් රාහුල් (නොදැවී 73යි පන්දු 113යි හතරේ 08යි) හා ශිකන්ධර් ධවාන් (ලකුණු 94යි පන්දු 116යි හතරේ 11යි හයේ 02යි) මුල් විකට්ටුවට ලකුණු 171ක් රැස් කරමින් ඉන්දියාව අවදානම් තත්ත්වයෙන් ගොඩගත්හ. දසුන් ශානක ඕවර 9.3ක් යවා ලකුණු 29ක ට කඩුල්ලක් දවාලූවේය. පූජාරා නොදැවී ලකුණු 02ක් ලබා සිටී.
ප්‍රථම දින තුනටම අයහපත් කාලගුණයෙන් තරගයට බාධා ඇතිවුවත්, සිව්වන දින කණ්ඩායම් දෙකම කඩුලු හතක් දැවී ලකුණු 300ක් රැස්කිරීමට මේ දර්ශනීය ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේදී සමත් විණි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-