ජාතික කාන්තා ක්‍රිකට් පිලට තරුණ ක්‍රීඩිකාවන් ලබාදීමේ වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවැති ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමේ වැඩ පිළිවෙල නොබෝදා සාර්ථකව ආරම්භ වූයේ අවුරුදු 23න් පහළ සංවර්ධන කණ්ඩායමක් සකස් කර ඔවුනට එතෙර දී හා මෙතෙර දී තියුණු තරගවලට සහභාගි වීමට අවස්ථාව ලබාදීමෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියේ දී අන්තර් පළාත් හා අන්තර් දිස්ත්‍රික්ක මට්ටමින් දක්ෂතා දැක් වූ අවුරුදු 23න් පහළ ක්‍රීඩිකාවන්ගෙන් තිස්දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සකස්කර එහි විශේෂ දක්ෂතා පෙන් වූ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු 23න් පහළ ජාතික සංචිතයට තෝරා ඔවුනට මනා පුහුණුවක් ලබාදෙන බව කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සරා තිලකරත්න ප්‍රකාශ කරයි.
පාසැල් ක්‍රීඩිකාවන් හතරක් සහ අන්තර් සමාජ ක්‍රීඩිකාවන් 12ක් මේ සංචිතයට නම් කැරුණු අතර ඔවුනට දීමනාවක් හා ඇඳුම් පැළඳුම් ක්‍රිකට් උපකරණ ක්‍රිකට් ආයතනය මගින් සපයන ලදී. ජනත් ගමගේ මොවුනගේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, මේ වැඩසටහන භාරව ක්‍රියා කරනුයේ චින්තක එදිරිමාන්නය. 23න් පහළ සංචිතයේ ක්‍රීඩිකාවනට එතෙර තියුණු තරගකාරී තරගාවලියකට සහභාගි වීමට අවස්ථාව සලසමින් දකුණු ආසියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන්පදක්කම (ප්‍රථම ස්ථානය) දිනූ තායිලන්තය සමග එම රටේ දී ම තරග වැදීමට නොබෝදා අවස්ථාව සලසා දුන්නේය.
තායිලන්ත ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ කණ්ඩායම් අතර පැවැති 20 – 20 තරග තුනෙන්ම තායිලන්ත ජාතික කණ්ඩායම ජය ලැබුවත් දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් 6 – 7ක් පමණම හඳුනාගැනීමට මෙහි දී අවස්ථාව උදා විණි. ඔවුනගේ දක්ෂතා තවත් ඔප මට්ටම් කර ජාතික කණ්ඩායමේ සේවයට ලබාදීම අරමුණ වේ. ප්‍රථම තරගයෙන් තායිලන්ත පිල කඩුලු පහක ජයක් ලැබීය.
ශ්‍රී ලංකා ඕවර 16.4 දී ලකුණු 50යි. හර්ෂනී මාධවී 20යි. තායිලන්තය ඕවර 15.1ක දී කඩුලු 5ක ට 51යි. සඳනි තිවංකා 11ට 4යි.
දෙවැනි 20 – 20 තරගයේ දී ශ්‍රී ලංකාව ඕවර 20 දී කඩුලු 9ට 59යි. තායිලන්තය ඕවර 11.4 දී කඩුලු 4ට 60යි. කවීෂා දිල්හාරි 24ට 3යි. තෙවන 20 – 20 තරගයේ දී තායිලන්ත ඕවර 20 දී කඩුලු 5ට 89යි. ශ්‍රී ලංකාව ඕවර 17.1දී 61යි. ප්‍රථම වරට සහභාගි වූ තරුණ ක්‍රීඩිකාවන් පරාජය වූවත් අත්දැකීම් සම්භාරයක් ලබාගත් බව අප්සරා තිලකරත්න සඳහන් කරයි.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-