දෙවැනි ටෙස්ට් තරගය 24 දා නාග්පූර් හි දී
ඉන්දියාවේ නාග්පූර් නගරයේ දී මේ මස 24 සිට 28 දක්වා ඉන්දියා – ශ්‍රී ලංකා දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන අතර, ඊට ඉන්දිය කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි නොවේ. මේ ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් සහ ප්‍රබල වේපන්දු යවන්නා වන බුවනේෂ්වර් කුමාර්ය.
බුවනේෂ්වර් කුමාර් සිය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් නාග්පූර් සහ නවදිල්ලියේ දෙවන හා තෙවන ටෙස්ට් තරග දෙකට ම සහභාගි නොවන අතර, ශිකර් ධවාන් පෞද්ගලික හේතුන් මත දෙවන ටෙස්ට් තරගයට පමණක් සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබේ. කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී ධවාන් ලකුණු 94ක් රැස්කළ අතර, බුවනේෂ්වර් කුමාර් ප්‍රථම ඉනිමේ දී හා දෙවන ඉනිමේ දී කඩුලු හතර බැගින් දවා තරගයේ වීරයා ලෙස ද නම් කැරිණි. බුවනේෂ්වර් දෙවන ඉනිමේ දී ලකුණු අටකට කඩුලු හතරක් දවා දස්කම් පෙන්වීය. ධවාන් වෙනුවට මුරලි විජේ ද බුවනේෂ්වර් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් ද ඉන්දියාව නම් කර ඇත.
ඉන්දියාව ලොව ටෙස්ට් අංක 1 ට ශ්‍රේණිගතව ඇතත් ඔවුන් වැඩිපුරම දස්කම් පෙන්වා ඇත්තේ තම මව්බිමේ දී පළමු දිනයේ සිට දගපන්දු යවන්නන්ට වාසිදායක තණතිලිවලය. ඉන්දියාව ජනවාරි මස 5 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ කරන අතර, ඉදිරි මාස 18 තුළ ඔවුන් ඕස්ට්‍රේලියා එංගලන්තයේ හා නැවත ඕස්ට්‍රේලියානුවන් සමග තරග වැදීමට නියමිතය. එහි දී ඔවුනට වේග තණතිලිවල දී වේගපන්දු යවන්නන්ට මුහුණදීමට සිදුවන අතර, ඊට සූදානමක් ලෙස ඔවුන් ශ්‍රි ලංකාව සමග ඉදිරි තරග දෙකේ දී වේගපන්දු යවන්නන්ට ඔබින වේග තණතිලි සකස් කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිමුත් කරුණාරත්න හා සධීර සමරවික්‍රම වෙතින් කළින් තරගයට වඩා දස්කම් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. විශේෂයෙන්ම සුරංග ලක්මාල් සහ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වේගපන්දු යැවීමේ දී දක්ෂතා පෙන්වතැයි අපේක්ෂිතය. රංගන හේරත්ට හා දිල්රුවන් පෙරේරාට මේ තණතිලි එතරම් හිතකර නොමැත.
ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම ලංකා සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය වේ. ශ්‍රී ලංකා කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), සධීර සමරවික්‍රම, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්.
ඉන්දියාව – විරාට් කෝලි (නායක), කේ. රාහුල් මුරලිවිජේ, පුජාරා, රහනේ, ෂර්මා, සාහා, අස්වින්, ජාඩෙජා , කේ යදවු, සාමි යු යදව්, ඉෂාන්ට් ෂර්මා, විජේ ශංකර්.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-