ඉන්දියාව 536 ට 07යි ශ්‍රී ලංකාව 131 ට 03යි
නවදිල්ලියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා තුන්වන හා පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉන්දියාව මුල් ඉනිමේදී කඩුලු 07ක ට ලබාගත් ලකුණු 536ට පිළිතුරු ලෙස දෙවන දින (03) තරගය නිම වනවිට ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා කඩුලු තුනකට ලකුණු 131ක් ලබා ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටියේය. නැවත වතාවක් දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට නොයාමට ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී තවත් ලකුණු 205ක් රැස් කළ යුතු වේ.
දෙවන දින තරගයේ විශේෂ සිදුවීම් ගණනාවක් ම සිදුවිය. ඉන්දීය නායක, විරාට් කෝලි ගිය වසරේ (2016) ජුලි මාසයේ සිට මේ දක්වා ද්විත්ව ශතක හයක් ලබා, එලෙස ද්විත්ව ශතක ඉක්මනින්ම ලැබූ පිතිකරුවා බවට ලෝක වාර්තා පොතට එක්විය.
නවදිල්ල නගරයේ වායු දූෂණය දෙවන දින තරගයට ද බලපෑවේය. මෙදින දිවා ආහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු රැකීමට පැමිණියේ මුහුණු ආවරණවලින් නාස සහ මුඛ වසාගෙනය. ක්‍රීඩාංගණය පෙනෙන තෙක් මානයේ ඇතිවන වායු දූෂණය මත තරගය දෙවරක්ම නතර කැරිණි. මෙය තදින්ම බලපෑවේ වේගපන්දු යවන්නන්ට ය. ළහිරු ගමගේට සහ සුරංග ලක්මාල්ට පිටියෙන් ඉවත්වීමට ද සිදුවිණි. ශ්‍රී ලංකා කණ්ඩායමට පිටියට ක්‍රීඩකයන් එකොළොස් දෙනා එවීමට නොහැකිවීමෙන් ක්‍රීඩා කළේ ක්‍රීඩකයන් දස දෙනෙකුගෙනි.
ඉන්දීය නායක, කෝලි තම පිල කඩුලු 7ක ට ලකුණු 536ක් ලබා සිටි අවස්ථාවේ පන්දුවට පහරදීම නතර කර, ඔවුන් පන්දු යැවීමේ (ඉනිම ආරම්භ කිරීම) කාර්යය, එනම්, පන්දුවට පහරදීමේ කාර්යය ශ්‍රී ලංකාවට පැවරීය. පෙරදින (02) පන්දු රකින විට වේගවත් පහරක් හිස් ආවරණයේ (හෙල්මට්) වැදී පිටියෙන් ඉවත් වූ සධීර සමරවික්‍රමට දෙවන දින පිටියට ඒමට නොහැකි විණි. ශ්‍රී ලංකා මුල් ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ය. ෂාමි එවූ පළමු පන්දුවටම කරුණාරත්න කඩුලු රකින සාහාට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු නොලබාය. ධනංජය ද සිල්වාට ද එතරම් වේලාවක් කඩුල්ලේ රැඳීමට අවස්ථාව නොලැබිණි. ධනංජය පන්දු 14ක ට මුහුණ දී ලබාගත්තේ එක් ලකුණකි. සවස තේ පානය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 02ක් දැවී ලබා සිටියේ ලකුණු 18කි. තේ පානයෙන් පසුව දිල්රුවන් හොඳ ආරම්භක පිතිකරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් පිටිය පුරා දර්ශනීය හතරේ පහර නවයක්ම එල්ල කළේය. දිල්රුවන් සහ ඇන්ජලෝ මැතිව්ස් ඕවර 13.3ක දී තෙවන කඩුල්ලට කඩිනම් ලකුණු 61ක් රැස් කළහ. කෙසේ වුවද, දිල්රුවන් දැවී යාමට අවස්ථා දෙකක් ද, මැතිව්ස් දැවී යාමට අවස්ථාවක් ද ලබාදුන්නත්, ඉන්දීය ස්ලිප් ක්‍රීඩකයන් (ධවාන්, පූජාරා සහ කෝලි) ඒවා අතහැරියහ.
දිල්රුවන් මුළු ලකුණු 75දී තෙවන කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 54ක දී හතරේ නවයක් සමඟ ලකුණු 42ක් ලබා සිටියදීය. දෙවන දින තරගය නිම වනවිට සිව්වන කඩුල්ලට නොදැවී ලකුණු 56ක් එක්කර තිබිණි. මැතිව්ස් පන්දු 118ක දී හතරේ අටක්, හයේ දෙකක් සමඟ නොදැවී ලකුණු 57ක් ද, දිනේෂ් චන්දිමාල් පන්දු 81ක දී හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 25ක් ද ලබා සිටියහ.
දෙවන දින තරගය ආරම්භ වනවිට කඩුලු 4ක ට ලකුණු 371ක් ලබා සිටි ඉන්දියාව දිවා ආහාරය වනවිට කඩුලු 5ක ට ලකුණු 500ක් ලබා සිටියේය. වායු දූෂණ අවස්ථා එළැඹියේ මේ අතරවාරයේ ය. නායක, විරාට් කෝලි තම වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව (ඉනිමක) ලෙස ලකුණු 243ක් ලැබුවේ පන්දු 287ක දී හතරේ පහර 25ක් සමඟ ය. ඔහු රෝහිට් ෂර්මා සමඟ පස්වන කඩුල්ලට ලකුණු 135ක් රැස් කළේ ඕවර 30.2ක දී ය. රෝහිට් ෂර්මා පන්දු 102ක දී හතරේ හතක් හා හයේ දෙකක් සමඟ ලකුණු 65ක් රැස් කළේය. ඉන්දීය ඉනිමේ ඕවරයකට සාමාන්‍ය දළ වේගය 4.19කි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා වූයේ දඟපන්දු යැවූ ලක්ෂාන් සඳකැන් ය. සඳකැන් ඕවර 33.5ක් යවා ලකුණු 167ක ට කඩුලු 4ක් දවාලූවේය. මීට අමතරව ගමගේ ලකුණු 95ක ට කඩුලු 2ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 145ක ට කඩුල්ලක් ද දවාලූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-