මැතිව්ස් එක්දින නායකත්වයට
ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු, චන්දික හතුරුසිංහගේ නව සැලැස්ම සහ ක්‍රිකට් ආයතනයේ නව පරිපාලන ප්‍රතිපත්ති සාර්ථක කරගැනීමේ අරමුණින්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම්වල නායකත්වය හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් වෙත නැවත පිරිනැමූ බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙමගින් නුදුරු අනාගතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ප්‍රගතියක් ඇතිවනු ඇතැයි ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20-20 කණ්ඩායම්වල නායකයා නම් කිරීම සහ මේ මස 13 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීම සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා, “මේ ගතවන්නේ ක්‍රිකට් ආයතනය ප්‍රතිසංවිධානය කිරීමෙන් පසු නව වැඩපිළිවෙලේ සමාරම්භක අවධියයි. නව ප්‍රධාන පුහුණුකරු, චන්දික හතුරුසිංහ වැඩ භාරගැනීමෙන් පසු කෙටි, මධ්‍යම හා දිගු කාලීන වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ග්‍රෙහැම් ලැබ්‍රෝයිගේ සභාපතිත්වයෙන් තේරීම් කමිටුවේ සැලසුම් හා ප්‍රතිපත්තිත් මීට අදාළව ක්‍රියාත්මකයි. හතුරුසිංහ මහතා උපායමාර්ග සහ සැලසුම් ක්‍රියාත්මක කරන අතර ඊට උචිත අයුරින් තේරීම් කටයුතු ද සිදුවේවි.”
අප පසුගිය සති දෙක තුනක පමණ කාලයක් සාකච්ඡා පවත්වා, නැවත ඇන්ජලෝ මැතිව්ස්ගේ හා දිනේෂ් චන්දිමාල්ගේ කාලයට යා යුතු බවට එකඟතාවකට පැමිණියා. කණ්ඩායමට නායකත්වයදී මව්බිමට ගෞරවය ගෙන එන ලෙස අප මැතිව්ස්ට ආරාධනා කර සති දෙක තුනකට පසු ඔහු නැවත එය භාරගැනීම සතුටට කරුණකි. ඒ අනුව සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන එක්දින තරගාවලියේ හා 20-20 කණ්ඩායමේ නායකත්ව වගකීම ඇන්ජලෝ මැතිව්ස් දරාවි.
“අප ගත් මේ තීරණය ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතාට දැනුම් දුන්විට ඔහු ඉතාමත් සතුටට පත්ව ඔහුගේ සුභ පැතුම් හා ආශිර්වාදය පිරිනැමුවා”යැයි ද තිලංග සුමතිපාල මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ නව එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස්, නව නායකත්වයේ වගකීම් හා අභියෝගයන් තමා සතුටින් භාරගෙන නව පුහුණුකරුගේ සහයෝගයෙන් ඉදිරියේදී සාර්ථකත්වය කරා ගමන් ගන්නා බව පැවසීය.
“පසුගිය වසර ගණනාවක් තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා ලද දේ බොහෝය. එවන් තත්ත්වයක සිටියදී නැවත නායකත්වය භාර ගන්නා ලෙසට ක්‍රිකට් සභාපතිතුමා කළ ඉල්ලීම මාහට ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඉදිරියේදී, මාගේ උපරිමය මම රට වෙනුවෙන් යොදවනවා. පසුගිය මාස කිහිපයේදී කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳ වැටුණු බව අප කවුරුත් දන්නා කරුණකි. නායකයන් කිහිපදෙනෙකු මෙම තත්ත්වය ගොඩනැගීමට උපරිමය යෙදුවත්, එය සාර්ථක වුණේ නැහැ.
“මා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වනවිට නැවත එය භාරගැනීමේ අදහසක් නොතිබුණත්, ඉන්දීය සංචාරයෙන් පසුව ක්‍රිකට් සභාපතිතුමාගේ හා නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ විශේෂ ඉල්ලීමට ඇහුම්කන්දී මේ ජාතික කර්තව්‍යය සඳහා මා නැවත ඉදිරිපත් වුණා. චන්දික හතුරුසිංහ මහතා යටතේ මා වසර දහයකට පෙර සිට පුහුණුව ලබා තිබෙනවා.ඔහු සමඟ ක්‍රියා කිරීම ඉතා පහසුයි. ඔහු භාරගත් සේවය ඉටුකර මිස, එය දමා පැන යන අයෙකු නොවෙයි. ඔහු සමඟ එක්ව කණ්ඩායම ගොඩගැනීමේ කාර්යය ඉතා ඉක්මනින් කළ හැකි බව මට විශ්වාසයි. ලෝක කුසලාන තරගාවලියට තව ඇත්තේ මාස 18කි. අප ඒ සඳහා උපරිම අයුරින් කැප වෙනවා.”
“2013-16 කාලය තුළ මා තරම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු අයෙකු ලොව වෙනත් කණ්ඩායම්වල සිටියේ නෑ. මා ආබාධයට ලක් වූයේත් ඒ නිසාමයි. වෛද්‍ය උපදෙස් මත ඉදිරියේදී එක්දින හා 20-20 තරගවලදී පමණක් පන්දු යැවීමට අපේක්ෂා කරනවා. නැවත නායකත්වයට පැමිණීම ගැන කවුරුන් කැමති හෝ අකැමැති වුවත් තමාගේ රාජකාරිය හරි හැටි ඉටු කරනවා” යැයි ද මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියේය.
ප්‍රධාන පුහුණුකරු, චන්දික හතුරුසිංහ මෙහිදී අදහස් දක්වමින් බංග්ලාදේශ කණ්ඩායමේ දුර්වලතා හා සිතුම් පැතුම් තමා දන්නා නිසා එහි මඳ වාසියක් තමාට තිබෙන බව කීවේය. 2019 ලෝක කුසලානය දිනාගත හැකි යැයි ප්‍රකාශ නොකළත්, ඉදිරි සෑම තරගයකදීම තියුණු ලෙස තරග කිරීම තම අභිප්‍රාය බව ද කීවේය.
බංග්ලාදේශය බලා යන එක්දින කණ්ඩායම :- ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුශංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් හා වනිඳු හසරංග.
– බන්දුල මොල්ලිගොඩ –