ශ්‍රී ලංකාව කඩුලු පහකින් සිම්බාබ්වේ පරාජය කරයි
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (21) පැවැති ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගයෙන් ශ්‍රී ලංකාව ඕවර 5.1 (පන්දු 31)ක් ඉතිරිව තිබියදී කඩුලු පහක ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය.
මුලින් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 44ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 198ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 44.5ක දී කඩුලු පහකට ලකුණු 202ක් රැස් කරගනිමින් මේ ජයග්‍රහණය ලැබීය. සිම්බාබ්වේ ඉනිමේදී ලකුණු 33ක ට කඩුලු හතරක් දවා, පසුව ශ්‍රී ලංකා ඉනිමේදී පන්දු 26ක දී දර්ශනීය හයේ පහර තුනක්, හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 39ක් රැස් කළ තුන්ඉරියව් ක්‍රීඩක, තිසර පෙරේරා, තරගයේ වීරයා ලෙස නම් කැරිණි. ඔහු මෙදින තරගය නිම කළේ දැවැන්ත හයේ පහරකිනි.
තිසර පෙරේරා දැනට මේ තරගාවලියේ කඩුලු නවයක් දවා, පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානයේ පසු වේ.
ලකුණු 199ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව 21වන ඕවරය වනවිට කඩුල්ලකට ලකුණු 103ක් ලබා ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා යන ලකුණු පහළ කළත්, එතැන් සිට ලකුණු 117 දක්වා (103 – 117) පිට පිට ම කඩුලු තුනක් දැවී යාමෙන් අසීරු තත්ත්වකට පත් ව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තවත් ඕවර 23ක ට පසුව ය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙදින දක්ෂ ලෙස සිම්බාබ්වේ පිල ලකුණු 198ක ට සීමා කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ මුල් විකට්ටුවට ඕවර 9.1ක දී උපුල් තරංග (17) සහ කුසල් ජනිත් පෙරේරා (49) ලකුණු 33ක් ද, දෙවන කඩුල්ලට ඕවර 21.5 වනවිට කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් (36) ලකුණු 70ක සබඳතාවක් ද තබා ගත්හ. හයවන කඩුල්ලට නායක, දිනේෂ් චන්දිමාල් (නොදැවී 38) සහ තිසර පෙරේරා (නොදැවී 39) ඕවර 10.1ක දී නොදැවී ලකුණු 57ක් එක් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු කුසල් ජනිත් පෙරේරා පන්දු 57ක දී හයේ පහරක්, හතරේ හතරක් සමඟ ලකුණු 49ක් ද, කුසල් මෙන්ඩිස් පන්දු 44ක දී හතරේ හතරක් සමඟ ලකුණු 36ක් ද, නායක, දිනේෂ් චන්දිමාල් පන්දු 71ක දී හතරේ දෙකක් සමඟ නොදැවී 38ක් ද, තිසර පෙරේරා පන්දු 26ක දී හයේ තුනක්, හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 39ක් ද ලබාගත්හ. බ්ලෙසින් මුසරබානි ලකුණු 53ක ට කඩුලු තුනක් දවාලූවේය.
සිම්බාබ්වේ නායක, ග්‍රේම් ක්‍රීමර් කාසියේ වාසිය දිනා, මුලින් පන්දුවට පහරදීමට තීරණය කර, ඕවර 44ක දී කණ්ඩායම ලබාගත් ලකුණු 198 අනුව ඔවුනගේ ලකුණු රැස් කිරීමේ වේගය 4.5ක් වුවද, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ඕවර 50ක දී අවශ්‍ය දළ වේගය වූයේ 3.96කි. ශ්‍රී ලංකාව ඕවරයකට 4.50ක වේගයක් තබාගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මිරේ ප්‍රථම ඕවර දහයේදී පහසුවෙන් ම මුල් විකට්ටුවට ලකුණු 44ක් එක් කළහ. මේ අවස්ථාවේ චන්දිමාල්, පන්දු යැවීමට තිසර පෙරේරා කැඳවූ විට ඕවර 3.3 (පන්දු 21)ක් ඇතුළත හැමිල්ටන් මසකඩ්සා (ලකුණු 20යි පන්දු 30යි හතරේ 03යි), සොලමන් මිරේ (ලකුණු 21යි පන්දු 40යි හතරේ 02යි), සහ ක්‍රෙග් අර්වින් (ලකුණු 02යි) යන ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාම මුළු ලකුණු 49 වනවිට දවාලීමට තිසර පෙරේරා වගබලා ගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ දීර්ඝතම සබඳතාව වූයේ බ්‍රෙන්ඩන් ටේලර් (58) සහ මැල්කම් වොලර් පස්වන කඩුල්ලට එක්කළ ලකුණු 66 වේ. බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 80ක දී හතරේ හයක් සමඟ ලකුණු 58ක් රැස් කළත්, ඔහු කලින් දැවී යාමට අවස්ථා හතරක් ම ලබා දුන්නත්, ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉන් ප්‍රයෝජන ගත්තේ නැත. අවස්ථා දෙකක් ම ගිලිහුනේ සුරංග ලක්මාල්ගේ පන්දුවලට උපුල් තරංග උඩපන්දු අතහැරීමෙනි. වරක් නිරෝෂන් දික්වැල්ල අතින් ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් මගහැරිණි. ටේලර්ට අමතරව ලකුණු 30 ඉක්මවූ එකම පිතිකරුවා වූයේ නායක, ග්‍රේම් ක්‍රීමර් ය. ටේලර් පන්දු 80ක දී හතරේ හයක් සමඟ ලකුණු 58ක් ද, ග්‍රේම් ක්‍රීමර් පන්දු 42ක දී හතරේ තුනක් සමඟ ලකුණු 34ක් ද රැස් කළහ. සිම්බාබ්වේ කණ්ඩායමේ අවසාන කඩුලු හය දැවී ගියේ ලකුණු 59ක් තුළ දී ය.
අවසාන කඩුලු තුන ක්‍රීමර් (34), තෙන්ඩායි චටාරා (02) සහ බ්ලෙසින් මුසරබානි (00) වේගපන්දු යවන නුවන් ප්‍රදීප් දවාලූවේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමිනි. තිසර පෙරේරා ලකුණු 33ක ට කඩුලු 4ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 28ක ට කඩුලු තුනක් ද, ලක්ෂාන් සඳකැන් ලකුණු 57ක ට කඩුලු 2ක් ද දවාලූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-