ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වසර දහයක කාලයක් සාර්ථකව පවත්වාගෙන යාමට තරම් එහි ආර්ථික තත්ත්වය ශක...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වසර දහයක කාලයක් සාර්ථකව පවත්වාගෙන යාමට තරම් එහි ආර්ථික තත්ත්වය දැන් ශක්තිමත්ව පවතින බව ක්‍රිකට් ආයතනයේ සභාපති, තිලංග සුමතිපාල මහතා පවසයි. මාර්තු 06 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඕවර 20-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් රුපියල් මිලියන දාහක (රුපියල් බිලියනයක) ශුද්ධ ලාභයක් අපේක්ෂා කරන බව ද සුමතිපාල මහතා කීවේය.
ඒ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශයේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.
ඒ තරගාවලියේ රූපවාහිනී හා ගුවන්විදුලි නිල විකාශන අයිතිය ඉන්දියාවේ ඩී ස්පෝට්ස් නාලිකාවටත්, බංග්ලාදේශයේ චැනල් 9 නාලිකාවටත් පිරිනැමිණි. මීට අමතරව අයි.ටී.ඩබ්ලිව්. උපදේශක සමාගමට ක්‍රීඩාංගණයේ දැන්වීම් ප්‍රචාරණ විකිණීමේ අයිතිය සහ නව මාධ්‍ය විකාශණ අයිතිය සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ඉන්දියාවේ හීරෝ මෝටර් කෝප් සමාගමට ද ලබාදෙන ලදී.
50 වන නිදහස් සමරුව වෙනුවෙන් අප තුන්කොන් තරගාවලියක් සංවිධානය කර එය ජය ගත්තා. එවර ඉන්දියාවේ පැවැති නිදහස් සමරු කුසලානය දිනා ගත්තේත් ශ්‍රී ලංකාවයි. මෙවර 70 වැනි නිදහස් සමරුව වෙනුවෙන් සංවිධානය කරන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියෙන් විශාල ආදායමක් අපට ලැබෙනවා.
උපක්‍රමශීලීව ගුවන්විදුලි හා මාධ්‍ය විකාශන, රූපවාහිනී විකාශන, ක්‍රීඩාංගණයේ දැන්වීම් අනුග්‍රහය ඇතුළු විවිධ අංශ සඳහා වෙන වෙන ම අනුග්‍රාහකයනට ආරාධනා කිරීමෙන් විශාල අනුග්‍රාහක මුදලක් ලබාගැනීමට අවස්ථාව උදා වූ බව ද සුමතිපාල මහතා සඳහන් කළේ ය.
“මෙතරම් මුදල් ප්‍රමාණයක් ලැබෙන, මෙතරම් ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ග්‍රහණය කරන තරගාවලියක් අප මීට පෙර සංවිධානය කර නෑ. ඉන්දියවේ අයි.පි.ල් වැනි තරග ආසියාවේ පැවැත්වෙන්නේ නැත්තේ ශ්‍රී ලංකාවේ පමණියි. අපගේ ආදායම් තත්ත්වය දැන් සුරක්ෂිතයි. ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ ලැබුවේ තාවකාලික පසුබෑමක්. ලොව ඕනෑම කණ්ඩායමක් එවැනි තත්ත්වයන්ට පත්වනවා. දැන් අප ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්ව, 2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන සැලසුම් ක්‍රීයාත්මක කර ඇත”.
නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී එක් කණ්ඩායමක් මූලික වටයේදී තරග දෙකකට බැගින් සහභාගි වේ. සියලු තරග පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ය. අනුග්‍රාහක සමාගම්වල ප්‍රධානීන් ද මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.
– බන්දුල මොල්ලිගොඩ –
-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-